අත්අඩංගුවට ගැනීම් නීතියට අනුව සිදුකරන්න - ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

අත්අඩංගුවට ගැනීම් නීතියට අනුව සිදුකරන්න - ජනපති

අත්අඩංගුවට ගැනීම් නීතියට අනුව සිදුකරන්න - ජනපති

අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

 

කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බවත්, එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින්  තොරව සිදු වන බවට සහතික කර ගන්නා ලෙසටත් ජනාධිපති දැනුම් දී ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් ඉහත කී රාජකාරිය ඉටු කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි ‍‍‍ගෞරවය ලබා දිය යුතුය.

 

එමෙන්ම මෙම උපදෙස් සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරව අදාළ වන බවත්, කිසිදු තත්ත්වයක් ‍යටතේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැංවීම නොකළ යුතු බවත්, කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසටත්  දැනුම් දී ඇත.

 

දූරදර්ශීව නිසි ලෙස රාජකාරී ඉටු කරන ලෙසට හා අවශ්‍ය අවස්ථාවන් හි දී නීතිපති උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසට ද ජනාධිපති ලේකම් විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

 

අද පුවත්පතින්..

views

1331 Views

Comments

arrow-up