මෙරට දිසා අධිකරණ වල නොවිසඳුණු නඩු 2,31,506ක් - අධිකරණ ඇමති

අධිකරණ සේවා කොමිෂන් සභාවට අනුව, මෙරට දිසා අධිකරණවලට යොමුව ඇති පැමිණිලි අතරින් මෙතෙක් විභාග නොවූ සහ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව 2,31,506 ක් බව අද පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ දත්ත අනුව මෙම නඩු අතරින් , වසර 01-05 අතර කාලයක් විභාග වන නඩු 49,801ක් ද, වසර 05-10 ත් අතර නඩු 20,586 ක් ද, වසර 10-15ත් අතර කාලයක් තිස්සේ විභාග වන නඩු 8947 ද, වසර 15-20 ත් අතර කලක් විභාග වන නඩු 3418 ක් ද වසර 20-25 ක් පැරණි නඩු 4620ක් ද ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.
තවදුරටත් මෙම කරුණු පැහැදිලි කරමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, නඩු දැමීම සහ නඩු ඇසීම යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලි දෙකක් වන බවයි.
කෙසේ වෙතත්, කොවිඩි 19 අභියෝගය නිසා මාස තුනක් තිස්සේ නඩු විභාග කිරීම නැවතී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා එබඳු තත්ත්වයක් යටතේ වුවද සිවිල් අභියාචනාධිකරණයේ 70 කට අධික නඩු තීන්දු ගණනක් ලබාදී ඇති බවයි.
එසේම,අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව තමන් මෙම සභාවට සහතික වෙන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී නැගී සිටි,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසූ, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, ඒ සම්බන්ධව තමන් නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, පිළිතුරු ලද විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා බව මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය .
668 Views
Comments