සීයාගේ තුන්මාසේ පිංකමට ආ මිනිබිරියෝ තිදෙනාත් සීයා මෙන්ම දියේ ගිලී මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

සීයාගේ තුන්මාසේ පිංකමට ආ මිනිබිරියෝ තිදෙනාත් සීයා මෙන්ම දියේ ගිලී මියයයි

සීයාගේ තුන්මාසේ පිංකමට ආ මිනිබිරියෝ තිදෙනාත් සීයා මෙන්ම දියේ ගිලී මියයයි

"මම කට්ටියට කිව්වා ඔරුවට නගිනකොටම කට්ටිය වැඩියි දගලන්න එපා කියලා. නමුත් මේ අය වැව මැදට ගියාම වතුර ගහගන්න ගත්තා" යැයි ඔරුව පැදවූ තරුණයා කියයි.

 

"මේ දරුවෝ නිකන්වත් වැව පැත්තට යනවා කිව්වා නම් මං කීයටවත් නිදා ගන්න යන්නේ නෑ. මං නිදා ගන්න කලින් දරුවට කිව්වා පුතේ කොහෙවත් යන්න එපා කියලා. නෑ තාත්තේ පේර කඩන්න පහළට යනවා විතරයි කිව්වා. එහෙම කියපු දරුවා කට්ටියත් එකක් වැවේ ඔරු පදින්න ගිහින් තමයි මේ කරදරය කරගෙන තියෙන්නේ. මට මේක දරා ගන්න බෑ"

 

"අපි 11 වෙනිදා හවස 04ට විතර කුරුණෑගලින් සූරියවැව එන්න පිටත් වුනේ. පහුවදා පාන්දර දෙක හමාර විතර වෙලා අපි සූරියවැවට එනකොට. ඒ ඇවිත් අපි නිදාගෙන උදේ නැගිටලා දානේ ගෙදර වැඩ කළා. දරුවා සීයගේ දානේ ගෙදර යනවා කිව්වම දවල් පන්ති ගිහින් ගෙදර ඇවිත් කෑවෙත් නැතිවමයි වාහනේට නැග්ගේ යමු යමු තාත්තේ කියලා. එන ගමන් මගදි දරුවා මට කිව්වා තාත්තේ අපි රයිස් කමුද කියලත්. දානේ ගෙදර ඇවිත් අපි වැඩ කරද්දී මං දරුවට දිගින් දිගටම කිව්වා පුතේ කොහෙවත් යන්න එපා කියලත්. එහෙම කියාල තමයි මං ටිකක් නිදාගත්තේ. මේ දරුවෝ වෙනදත් මේ වැව ළඟට එනවා මෙහේ ආවම. කවුද දෙයියනේ දන්නේ මගේ දරුවට මෙහෙම දෙයක් වේවි කියලා 

යැයි දියේ ගිලී මිය 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීර දැරියගේ පියා වන දිලිප් සේනාධීර හඬා වැළපෙමින් පැවසීය.

 

සූරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේදී මීට තුන් මාසයකට පෙර දියේ ගිලී මිය සීයාගේ තුන් මාසේ දානයට කුරුණෑගල සිට ඥාතීන් සමග පැමිණි මිනිබිරියන් තිදෙනෙකු මෙලෙස සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරු පැදීමට ගොස් ඔරුව පෙරළීමෙන් මියගොස් ඇති බව සූරියවැව පොලිසිය පැවසීය.

 

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ මාලඹේ කොළණිය, පිහිඹුව, කුරුණෑගල ලිපිනයේ පදිංචිකරුවන් වන ඕගොඩපොල කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීර, කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි බස්නායක මුදියන්සේලාගේ විශ්මි හංසිකා සහ කුරුණෑගල ඉබ්බාගමුව මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ 18 හැවිරිදි දිලක්ෂි මදුෂිකා හේරත් නමැති සිසුවියන් තිදෙනායි.

 

සූරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේදී මීට තුන් මසකට පෙර දියේ ගිලී මිය ගිය සීයාගේ දානමය පිංකම 13 දිනට යෙදී තිබූ අතර ඒ සඳහා මියගිය දැරියන් තිදෙනා ඇතුළු පිරිසක් 12 වන දින අළුයම 02ට පමණ සූරියවැව මහවැලිකඩආරට පැමිණ තිබුණි. එලෙස පැමිණි පිරිස අළුයම වන තෙක් ඥාති නිවෙස් කිහිපයක නිදාගෙන සිට නැවත උදෑසන සිට දානමය පිංකමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිට තිබේ.

 

එම අවස්ථාවේ කුරුණෑගල සිට පැමිණි දරුවන් පිරිස ප්‍රදේශයේම ඥාති සහෝදරයෙකු සමග මහවැලිකඩආර වැවට ගොස් එහි ඔරු පැද තිබේ. එහිදී පළමුවෙන්ම සිව් දෙනෙකු පමණක් ඔරුව පැද ඇති අතර පසුව එම ස්ථානයට තවත් සිව් දෙනෙකු පැමිණ තිබේ.

 

එහිදී එහි සිටි අට දෙනාම එකම ඔරුවක නැගී වැව මැදට ගොස් තිබේ. මේ ගමන සඳහා මාස 08ක කුඩා දරුවෙකුද රැගෙන ගොස් තිබේ. මාළු ඇල්ලීම සඳහා යොදා ගන්නා කුඩා ඔරුවක මෙම 08 දෙනාම ගොස් ඇති අතර එහි ගිය අය සෙල්ෆි ගසමින් අත් වලින්ද හබල් ගාමින් ඔරුව වේගයෙන් පදවාගෙන වැව මැදට ගොස් ඇති අතර එහිදී එක්වරම ඔරුව පෙරළී ගොස් තිබේ.

 

එහිදී ඔරුව පැදවූ පුද්ගලයා විසින්ම මාස 08ක් වයසැති දරුවා බේරාගෙන ඇති අතර තවත් තිදෙනෙකු දිවි ගලවාගෙන වැවේ පීනමින් සිටියදී අසල්වැසියන් විසින් වෙනත් ඔරුවක ආධාරයෙන් ගොස් ඔවුන්ව බේරාගෙන තිබේ.

 

එහෙත් ඔරුවේ ගමන් කළ තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. ගම්වාසීන් එක්ව පැය ගණනක් අතුරුදන් දැරියන් සෙවීම කළ නමුත් ඔවුන් සොයා ගැනීමට නොහැකි වී තිබේ. පසුව සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට සැළවීමත් සමග පොලිසිය හා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්ද එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කෙරුණි.

 

සූරියවැව පොලිසියෙන් කළ දැනුම් දීමකට අනුව කිරින්ද නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් ගෙන්වා වැව පතුතේ සිදුකළ මෙහෙයුමකදී 12 වන දින සවස 4.30ට පමණ මියගිය 10 හැවිරිදි දැරියගේ සිරුර පමණක් සොයා ගැනීමට සමත් විය.

 

සූරියවැව ප්‍රදේශයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග පැවති අයහපත් කාලගුණය හේතුවෙන් සිරුරු සෙවීමටද දැඩි බාධා එල්ලවී තිබුණි.

 

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් සිරුර සෙවීම නවතා දැමුණු අතර යළි 13 වන දින පෙරවරුවේ සිරුරු සෙවීම ආරම්භ කළ අතර එහිදී නාවික හමුදා කිමිදුම්කරුවන් හා ගම්වාසීන් හා පොලීසිය එක්ව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව සිටි ඉතිරි සිසුන් දෙදෙනාගේ සිරුර ගොඩ ගැනීම සිදුකෙරුණි.

 

ඔරුව පැද වූ සූරියවැව මහවැලිකඩ ආර පදිංචි කේ.ජී.ලහිරු සිද්ධිය පිළිබදව මෙලෙස පැවසීය.

මම ඉස්සර වෙලාම හය දෙනෙක් විතර දමාගෙන රවුමක් ගිහින් ආවා. ඒත් ඒ වෙලාවේ අම්මලත් කෑ ගැහුවා වැඩි දුර යන්න එපා කියලත්.

අම්මල කෑ ගහනකොට මන් වැඩි දුර අරන් ගියේ නැතුව ගොඩට ගෙනත් බැස්සුවා. පොඩි නංගි ඉස්සර වෙලා ගිහින් ආවේ. ගොඩට ආවට පස්සේ අනිත් නංගිලත් යන්න ඕනි කිව්වා. ඉතින් ඔක්කොම කට්ටිය දෙවෙනි පාරට නැග්ගා ආයෙත් රවුමක් යන්න.

ඒත් මං කිව්වා නගින්න එපා. ඔරුවට බර වැඩියි කියලා. ඒත් මේ අය ඇවිටිලි කළා අනේ අයියා තව එක සැරයක් එක්කගෙන යන්න කියලා. මං ඒත් කිව්වා කාටවත් දඟලන්න එපා කියා. කොල්ලෑව පැත්තට බරවෙන්න එපා කියලා කිව්වා.

කට්ටිය වැව මැදට යනකම් පාඩුවේ හිටියා. වැව මැදට ගියාට පස්සේ ඔරුවේ ගිය අය වැවට අත දමලා වතුර අරන් වතුර ගහගත්තා. එතකොට එකසැරේටම කොල්ලෑවත් එක්ක ඔරුව පැද්දෙන්න ගත්තා.

මං ඔරුව ගොඩට ගේන්න කියලා ටක්ගාලා හරවනකොටම කට්ටියම බය වෙලා දඟලන්න ගත්තා.

එතකොටම ඔරුවේ එකපැත්තකට කටිටියම ඇල වුණා. ඒත් එක්කම ඔරුව පෙරළුනා. ඒ වෙලාවේ ඔරුවේ හිටිය ඔක්කෝම වැවට වැටුණා. මාස 8ක දරු පැටියත් එක්ක මගේ නංගි යට ගිහින් උඩට එනවා මං දැක්කා.

එතකොටම මං දරු පැටියා අල්ල ගත්තා. මගේ ලොකු නංගි යට ගිහින් උඩට එනවත් එක්කම පෙරළිලා තිබුණු ඔරුවට නැග ගත්තා. පුළුවන් විදියට මං කට්ටිය බේරගත්තා. ඒ වෙනකොට මටත් අමාරුයි.

එතකොට කට්ටියක් ඔරුවකින් ඇවිත් මමයි පොඩි දරුවයි දමාගත්තා මට මතකයි. මටත් මේක හිතා ගන්න බෑ. මගේම නංගිලා තුන්දෙනෙක් මේ විදියට මගේ ඇස් ඉදිරිපිට නැතිවීම මට දරා ගන්න බෑ යැයි පැවසීය.

views

186 Views

Comments

arrow-up