මෙරට උසස් පෙළ අසමත් පිරිසක් පිටරටින් වෛද්‍ය උපාධිය අරන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලති
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

මෙරට උසස් පෙළ අසමත් පිරිසක් පිටරටින් වෛද්‍ය උපාධිය අරන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලති

මෙරට උසස් පෙළ අසමත් පිරිසක් පිටරටින් වෛද්‍ය උපාධිය අරන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලති

මෙරටදී උසස් පෙළ අසමත්ව විදේශයට ගොස් වෛද්‍ය උපාධිය ගත් පිරිසක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලා ඇත.

 

මෙම වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි නොකරන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ. මෙම ඉල්ලීමේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, අගමැති මහින්ද රාජපක්ෂට මෙන්ම වෙනත් වගකිවයුත්තන්ට ද එම ක්‍රියාකාරී කමිටුව මගින් යොමුකර ඇත.

 

විදෙස් වෛද්‍ය උපාධිය ලබන පිරිස් මෙරට වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන ඊ.ආර්.පී.එම්. විභාගය සමත් වීම අනිවාර්ය වෙයි. තාවකාලික ලියාපදිංචිය ඉල්ලා ඇති මෙම පිරිසට මෙරට ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිටීමට ඉඩ නොදීමට එරෙහිව පසුගිය වසරේ අධිකරණයට ගොස් ඇත. එහිදී අධිකරණය වෛද්‍ය සභාවට නියෝග කර ඇත්තේ එම පිරිසට අදාළ විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන ලෙසය. වෛද්‍ය සභාව ඔවුන්ට ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිටීමට ඉඩ දී නැත්තේ ඔවුන් උසස් පෙළ විභාගය අසමත් වීම නිසාය.

 

විදෙස් වෛද්‍ය උපාධීධාරීහු විසි දෙදෙනෙක් මෙලෙස නඩු පවරා ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිටීමේ අවසරය ලබාගෙන තිබේ.

 

මෙවර තාවකාලික ලියාපදිංචිය ඉල්ලා ඇත්තේ නඩු තීන්දුවේ අවසරය මත විභාගයට පෙනී සිට සමත් වූවන් බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු කසුන් තාරක පැවසීය. නඩු තීන්දුව අනුව විභාගයට පෙනී සිට සමත් වුවත් ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගත යුතුය යන නියෝගයක් අධිකරණය නිකුත් කර නැති හෙයින් ලියාපදිංචිය නතර කිරීමට වෛද්‍ය සභාවට හැකි බවත් හෙතෙම කීවේය. කෙසේ වෙතත් එම නඩු තීන්දුව අනුව ඉල්ලීමක් කළොත් තාවකාලික ලියාපදිංචිය ලබාදීමට සිදුවන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ සඳහන් කළේය. එම සිසුන් තාවකාලික ලියාපදිංචිය ඉල්ලා තිබේද යන්න තමන් නොදන්නා බවත් කී ඒ මහතා කෙසේ වුව ද මින් ඉදිරියට ඊ. ආර්. පී. එම්. විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන්නේ උසස් පෙළ සම්මාන දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සහිතව සමත් අයැදුම්කරුවන්ට පමණක් යැයි ද කීවේය.

 

තාවකාලික ලියාපදිංචියෙන් පසු වසරක සීමාවාසික පුහුණු කාලය සම්පූර්ණ කරන වෛද්‍යවරුන් වෛද්‍ය සභාව විසින් ලියාපදිංචි කරනු ලබන අතර ඉන්පසු ඔවුන්ට වෛද්‍යවරුන් ලෙස මෙරට සේවය කළ හැක.

 

views

721 Views

Comments

arrow-up