සිංහ බබාට කේක් කවා දෙහිවල සත්තු වත්ත සැමරූ 88 වැනි උපන් දිනය

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ 88 වැනි සංවත්සර සැමරුම ඊයේ (3) සත්ව උද්‍යාන පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උපන්දින කේක්ගෙඩිය කපා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළමුවෙන්ම සිංහ පැටවකුට කවා උත්සව කටයුතු ආරම්භ කරනු ලැබීය.
එහිදී සතුන් පිළිබඳව පැවැත්වූ චිත්‍ර, රචනා ආදී තරගවලින් හා අලුත උපන් සිංහ පැටවාට නම් තැබීමේ තරගයෙන් ජය ලැබූ දරුවන්ට ත්‍යාග පිරිනැමීමත්, සත්ව උද්‍යානයේ පැරණිම සේවකයින් අගැයීමට ලක් කිරීමත් සිදු කෙරිණි. සත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සඳහා මෙදින වැඩමුළුවක් ද පැවැත්විණි.
සත්ව උද්‍යානය පවතින්නේ සතුන් නැරඹීමට පමණක් නොව සත්ව අභිජනනය, සත්ව සංරක්ෂණය ආදිය තුළින් ඒවා අනාගත පරපුර වෙත තිළිණ කිරීමේ උදාර පරමාර්ථයට යැයි මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
දෙහිවල සත්ව උද්‍යානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී, සහකාර අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු, ආචාර්ය ජගත් ගුණවර්ධන, මහාචාර්ය නිහාල් දයාවංශ, මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් පළ කළහ.
ජර්මන් ජාතිකයකු මෙරට සතුන් යුරෝපයට අපනයනය කිරීම සඳහා එක්රැස් කර තිබූ ස්ථානය 1926 දී ‘ලංකා සත්ව උද්‍යාන සංගමය’ නමින් දෙහිවල සත්ව උද්‍යානයේ සමාරම්භය සිදුවී ඇත.
1936 ජුලි 03 වැනිදා එහි පාලනය රජය සතුවිය. එතැන් සිට වසර 88 ක් දෙස් විදෙස් සංචාරකයන්ගේ දැනුම විනෝදය ලබාදීමට සත්ව උද්‍යාන කාර්ය මණ්ඩලය මහත් කැප වීමකින් කටයුතු කර තිබේ.
296 Views
Comments