පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ නවතන්න ජනපති සැරසේ..
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ නවතන්න ජනපති සැරසේ..

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ නවතන්න ජනපති සැරසේ..

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

 


රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ජනාධිපතිතුමා පවසයි.

 


“මෙය නිවැරදි කළයුතුයි. බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න” ජනාධිපතිතුමා කියා සිටී.
බන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා එසේ පැවසීය.

 

 


බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බව ද රාජපක්ෂ මැතිතුමා කීය.

 


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.‍ ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ.

 


දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

 


අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් යන මහත්ම මහත්මීහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රමුඛ පොලීසියේ සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

 


– ජනාධිපති මාධ්‍ය අංශය

 

views

675 Views

Comments

arrow-up