ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන ටැටූ ෂොප් හිමිකරුට මහෙස්ත්‍රාත්වරියගෙන් අවවාදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන ටැටූ ෂොප් හිමිකරුට මහෙස්ත්‍රාත්වරියගෙන් අවවාදයක්

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන ටැටූ ෂොප් හිමිකරුට මහෙස්ත්‍රාත්වරියගෙන් අවවාදයක්

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවසර ඉල්ලා තිබේ.

 

ඒ ඔහු ඇතුළු ව සැකකරුවන් 7 දෙනා ඊයේ (10) දිනයේදී කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දීය.

 

එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ නැවත වතාවක් සිතා බලා එම ඉල්ලීම සිදුකරන ලෙසය.

 

මේ අතර, සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

නමුත් ඊට අවසර ලබානොදුන් අධිකරණය, එම සැකකරුවන් ජුලි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

 

එමෙන්ම බන්ධනාගාරය තුළ ලොකු පැටී නම් අපරාධකරුගේ සගයන් සිටින බැවින් අදාළ සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසද අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

 

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක දී වෙඩි තබා ඝාතනය කළේය.

 

එහිදී ප්‍රසිද්ධ ගායන ශිල්පී කේ.සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමැත්තා ද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ හා ඔහුගේ ඥාතී හිතවතෙකු තුවාල ලැබීය.

 

ඒ අතරින් මේ වනවිටත් ක්ලබ් වසන්තගේ බිරිඳ හා ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ බරපතළ තත්ත්වයෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

 

ගායන ශිල්පිනී කේ. සුජීවාගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

 

අනෙක් පුද්ගලයාගේ තත්ත්වය ද බරපතළ නොවන බව වාර්තා වේ.

 

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

views

255 Views

Comments

arrow-up