විදේශ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ හොර දොස්තර මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

විදේශ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ හොර දොස්තර මාට්ටු

විදේශ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ හොර දොස්තර මාට්ටු

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශය නිවේදනය කරයි.

 

අදාළ පුද්ගලයා කොළඹ 07, විජේරාම මාවතේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වෛද්‍යවරයෙකු ලෙස ද පෙනී සිට ඇත.

 

මුදල් ලබාගැනීම සඳහා සැකකරු නාරාහේන්පිට විදේශ රැකියා අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පුද්ගලයන් කැඳවා තිබේ.

 

සැකකරු මෙසේ පුද්ගලයන් 9 දෙනෙකුගෙන් රුපියල් 7,650,000ක් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර මොහුට මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

 

සැකකරු කොළඹ අංක 5, මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

මෙම ජාවාරම සඳහා සහය වූ මොහුගේ බිරිඳ විමර්ශන නිලධාරීන් මඟහරිමින් සැඟව සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

 

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකාර මහතා ඉල්ලා සිටී.

 

එසේ මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ තොරුතුරු දන්නේ නම් ඒ පිළිබඳ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන මෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

views

243 Views

Comments

arrow-up