සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ අකුරැස්ස, රුහුණුගොඩහේන, බලකාවල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

 

ඔහු පසුගිය19 වැනිදා සොයිසාපුර ව්‍යාපාරික ස්ථානයකට පහරදී දේපොළවලට හානි සිදු කර පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සහ පසුගිය 28 වැනිදා එම ව්‍යාපාරික ස්ථානයටම ස්වයංක්‍රීය අවිවලින් වෙඩි තබා පලායාමට අනුබලදීමට අදාළ සැකකරුවෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

 

එසේම අදාළ පුද්ගලයා 2018 වසරේ මැයි 24 වැනිදා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත මුදාහැර සිටින අයෙකු ද වනවා.

 

 

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ඔහු 2017 වසරේ මාර්තු 01වැනිදා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ ‘රොහා’ නැමැත්තා ඝාතනය කිරීමට උත්සාහ කළ අයෙකු ද වන බවයි.

 

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 5 ක ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

 

ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කොණ්ඩ ජනිත් නම් පුද්ගලයෙකු පානදුර එළුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර , ඔහු ලබන මස 5 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ පොලීසියට අවසර දුන්නා.

 

ඒ අනුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

 

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු පසුගියදා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

views

664 Views

Comments

arrow-up