රැයක් දවාලක් නැතිව රැකියාවටම ඇබ්බැහි වෙලාද?
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

රැයක් දවාලක් නැතිව රැකියාවටම ඇබ්බැහි වෙලාද?

රැයක් දවාලක් නැතිව රැකියාවටම ඇබ්බැහි වෙලාද?

වර්තමාන ආර්ථිකයත් සමග සමාජයක ජීවත්වන සියලුම පුද්ගලයන්ට තමාගේ එදිනෙදා අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීමට කිසියම් හෝ රැකියාවක යෙදීම අනිවාර්ය තත්ත්වයක් බවට පත්වී තිබේ. විශේෂයෙන්ම ඔබ විවාහක පිරිමියෙක් හෝ කාන්තාවක් නම් එම කරුණු බොහෝ ලෙසින් ඔබගේ ජීවිත වලට සමීප වනු ඇත. මක්නිසාද ඔබ විසින් නඩත්තු කළ යුතු ඔබටම කියා පවුලක් පවතින බැවිනි.

 

නමුත් ඔබගේ රැකියාවත් සමග ඇතිවන කාර්යබහුල බව නිසාවෙන්ම ඔබටත් ඔබගේ විවාහය අමිහිරි කටුක අත්දැකීමක් වන්නට පුළුවනි. ඔබ වඩවඩාත් රැකියාවටම ඇබ්බැහි වී ඇත්නම් ඔබගේ පවුල් සංස්ථාව ද ඉක්මනින්ම දෙදරා යාමට ද හැකියාවක් පවතී. නිවසක සැමියා හෝ බිරිඳ දවසේ වැඩි කාලයක් තමාගේ රැකියාවේ යෙදී සිටිනවා නම් අනෙකාට සිදුවන්නේ දරුවන් ඇතුළු පවුලේ සියලුම බර කරට ගැනීමටයි. බාහිරින් බලන පුද්ගලයකුට එම නිවසේ සිටින සැමියාගේ හෝ බිරිඳගේ ජීවිතය කටුකත්වයෙන් පිරුණු බවක් පෙනෙන්නට තිබුණද දෙදෙනා අතර නිසි අවබෝධයක් ගොඩනැගී ඇත්නම් එම කටුකත්වය සුන්දරත්වය කරා ගෙන යාමට නිරන්තරයෙන්ම හැකියාවක් ලැබේ.

 

දෙදෙනාගෙන් එක් අයකු රැකියාවට ඇබ්බැහි වන විට අනෙකාට තමන් ගැන නොසලකා සිටින බවක් තමාව අත්හැර දමා ඇති බවක් දැනීම ස්වභාවික තත්වයකි. තමාට අනෙකාගේ උදව් උපකාර අත්‍යවශ්‍යම මොහොතක ඔහු හෝ ඇය ළඟ නොසිටීමෙන් මෙම තත්වය තවත් බරපතල වන්නට පුළුවනි. එවැනි දෙදෙනෙකු අතරට සතුට සාමය විශ්වාසය කැන්දා ගන්නට බොහෝ ක්‍රමෝපායන් සොයා ගැනීමට අමාරු නැත. විවාහ වීමට පෙර සැමියාට සහ බිරිඳට තමන්ගේම කියා ජීවිතයක් ස්වාධීනත්වයක් තිබූ අතර යළි නැවත එම ස්වාධීනත්වය ළඟා කරගත හැකි නම් ඔහුට හෝ ඇයට දැනෙන තනිකම පාළුව දුරු කරගත හැකි අතර එයින් ආත්ම තෘප්තියක් ද ලැබේ. සැමියාට හෝ බිරිඳට මගේ යහළු යෙහෙළියන් විවාහයෙන් පසු බොහෝ දුරට මගහැරී තිබෙන්නට පුළුවනි. ඔවුන් සමග ද පෙර කල මෙන් මිතුරු වීමට හැකියාවක් ඔබ විසින් සාදා ගන්නේ නම් ඔබට පවත්නා මානසික ගැටලුවෙන් මිදීමට බොහෝදුරට මහෝපකාරී වනු ඇත. අලුත් දෙයක් ඉගෙනීමට පන්ති යාම මගින් නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීම හුදෙකලාවූ බිරිඳකට ගත හැකි හොඳම පියවරකි.

 

තවද බිරිදකට තමාගේ දරුවන් ද රැකබලා ගැනීමෙන් නිවසේදීම කිසියම් හෝ ස්වයං රැකියාවක් සිදු කිරීමට හැකි නම් එයද වඩාත් සාර්ථක විසඳුමක් වන අතර එමගින් ඔබට, ඔබේ සැමියාට මෙන්ම ඔබගේ පවුලේ ආර්ථිකයට ද එය ප්‍රයෝජනවත් වනු ඇත. වර්තමානයේ දී බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු නිවසට මුළුතැන්ගෙට පමණක් කොටු වන අතර තමන් කැමති තමන්ගේ උගත්කමට ගැලපෙන අංශයකින් රැකියාවක් සොයා ගැනීම සිහිනයක් බවට ම පත් කරගෙන තිබේ. නමුත් එවැනි රැකියාවක නිරත වීමෙන් ලැබෙන අසීමිත තෘප්තිය විවාහයෙ ඒකාකාරී බවෙ සියලු දුක් දොම්නස් දුරු කිරීමට හේතු වනු ඇත. ඇතැම් විටක සැමියා හෝ බිරිඳ දවසේ වැඩි වේලාවක් රැකියාවට යොමු කර ඇත්තේ ඔබගේ පවුලේ පවතින ආර්ථික ගැටලු බොහෝමයක් නිසාවෙන් වන්නට පුළුවනි. එවැනි අවස්ථාවකදී අනෙකා විසින් කළ යුත්තේ තමාට හැකි පමණ ඔහුට හෝ ඇයට ධෛර්යය ලබා දීම මිසක රණ්ඩු සරුවල් ඇති කර ගැනීම නොවේ.

 

දෙදෙනා අතර අවබෝධයක් ගොඩනගා ගැනීම තුළින් යුගදිවිය වඩාත් සොඳුරු කර ගැනීමට හැකියාවක් පවතී. බලකිරීමකින් අණකිරීමකින් තොරව පවුලේ සැමට එක්ව කෑම ගැනීමට වේලාවක්, විනෝද ගමනකට වේලාවක් වෙන්කර ගැනීම වැනි නිර්මාණශීලී ප්‍රවේශයකින් සැමියාගේ හෝ බිරිඳගේ හදවතට සමීප විය හැකියි. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුත්තේ අන් අයගේ යුගදිවිය සමඟ තම යුග දිවිය සැසඳීම කිසිසේත්ම නොකළ යුතුයි යන්නයි. බොහෝ විට අද සමාජයේ පවුල් සංස්ථාව දෙදරා යාමට එම සැසඳීම බොහෝ දුරට හේතු වී ඇත. ඔබගේ ඒකාකාරී දිවියට විවිධත්වයක් එක් කරගැනීමට සැමවිටම ඔබ විසින් උත්සාහ දැරුවොත් ඔබත් ඔබගේ ආදරණීයයන් සමග හැමදාම එකම පවුලක් ලෙසින් එකම නිවහනක ජීවත් වීමට ඔබටත් හැකියාවක් ලැබේවි. එය කෙතරම් අපූරුද සැනසිලිදායක ද...

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source: Internet

 

views

442 Views

Comments

arrow-up