පුතා සාමාන්‍ය පෙළ ලියා එද්දී අම්මා ජීවිතයෙන් යන්නම ගිහින් - ගම්පොළ හැඬවූ කඳුළු කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

පුතා සාමාන්‍ය පෙළ ලියා එද්දී අම්මා ජීවිතයෙන් යන්නම ගිහින් - ගම්පොළ හැඬවූ කඳුළු කතාව

පුතා සාමාන්‍ය පෙළ ලියා එද්දී අම්මා ජීවිතයෙන් යන්නම ගිහින් - ගම්පොළ හැඬවූ කඳුළු කතාව

නිවසේ කිසිවකුත් නොමැති වෙලාවක සෝදා වේලා ගැනීමට දැමූ ඇඳුම් ඉවත් කිරීමට සිය නිවසේ උඩුමහලට ගිය තිස්පස් හැවිරිදි දෙදරු මවක් ඉන් පහළට වැටී ජීවිතක්ෂයට පත්ව සිටියදී සාමාන්‍ය පෙළ විභාගය ලියා නිවසට පැමිණි පුතුට හමුවීමේ ශෝක ජනක සිද්ධියක් ගම්පොළ නාරංවිට ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගම්පොළ, නාරංවිට පිහිල්ලදෙනිය ප්‍රදේශයේ පදිංචි මනෝරි නිසංසලා හරිස්චන්ද්‍ර නමැති කාන්තාවයි. ඇගේ සැමියා වන පිල්ලෑවේ ගෙදර ශාන්ත කුමාර යන අය ඉදිකිරීම් අංශයේ කොන්ත්‍රාත්කරුවෙකි.

 

සැමියා එම ප්‍රදේශයේම ඉදිකිරීමක් සඳහා උදෑසන නිවසින් ගොස් තිබේ. පුතුන් දෙදෙනකු ඇයට සිටින අතර වැඩිමහල් පුතු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටී. ඇය උදෑසනම විභාගයට යන පුතුගේ කාර්යයන් සිදුකොට ඔහු විභාගය සඳහා පිටත් කර තිබේ.

 

අනතුරුව එම ප්‍රදේශයේම රැකියාවේ නියුතු සැමියා හට පෙරවරු දහයට පමණ දෙවැනි පුතු අතේ තේ වතුර යවා ඇත. එම පුතු පියා සමග වැඩපොළේම නතර වී තිබේ.

 

සවස් වරුවේ වර්ෂාව නිසා වේලාගැනීමට දැමූ රෙදි ගැනීමට මෙම මව උඩුමහලට ගොස් තිබේ.

 

නිවසට ඇතුළුවන ගේට්ටුව හා නිවසේ උඩුමහල අතර යකඩ බට හා තහඩු දමා තිබෙන අතර ඇය එහි රෙදි වනා තිබී ඇත. එම රෙදි ගැනීමට යෑමේදී යකඩ තහඩුවක් සමග ඇය පහළට වැටී ඇති බව පොලිසිය පවසයි. විභාගය සඳහා ගිය පුතු සවස හතර හමාරට පමණ නිවසට පැමිණ ඇතත්, නිවසේ ගේට්ටුව වසා තිබීම නිසා නිවසේ සිටින මවට ඔහු කතාකොට තිබේ.

 

නමුත් ගෙතුළින් පිළිතුරක් නොමැති නිසා එම පුතු තාප්පෙන් නිවසට තුළට පැන ඇති අතර එහිදී ලේ විලක් මැද සිය මව මිදුලේ වැටී සිටින අයුරු දැක තිබේ.

 

සිද්ධියෙන් කම්පනයට පත් පුතු බොහෝ වෙලාවකට පසු මේ බව සිය පියාට හා අසල්වාසීන්ට දන්වා ඇති අතර ඔවුන් පැමිණ ඇය රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

 

ගම්පොළ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සචින්ත රත්නතුංග මහතා විසින් ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (15) සිදු කළ අතර දොළුව හදිසි මරණ පරීක්ෂක ගාමිණී ගුණරත්න මහතා විසින් මරණ පරීක්ෂණ කටයුතු සිදු කළේය. 

views

488 Views

Comments

arrow-up