අංක තහඩු ක්‍රමයට තෙල් ගහන්න ගිහින් සැමියාගේ අනියම් පෙම බිරිඳට අතේ මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

අංක තහඩු ක්‍රමයට තෙල් ගහන්න ගිහින් සැමියාගේ අනියම් පෙම බිරිඳට අතේ මාට්ටු

අංක තහඩු ක්‍රමයට තෙල් ගහන්න ගිහින් සැමියාගේ අනියම් පෙම බිරිඳට අතේ මාට්ටු

රජයේ රැකියාවක නිරත යුවළකගේ යතුරුපැදි දෙකක් සඳහා ඉන්ධන ලබා ගැනීමට ජාතික ඉන්ධන  කාඩ්පත සකස් කිරීමේදී සිදුවූ ආරාවුලකින් අනියම් සම්බන්ධයක් හෙළිවීමේ පුවතක් පස්ගොඩ ගම්බද ගම්මානයකින් අසන්නට ලැබේ.


ඇය සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක් ලෙස පිට වසමක සේවය කළාය. ඔහු පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෘෂි පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරියකු ලෙස තම නිවස පිහිටි වසමේ සේවය කළේය.


ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය ජාතික ඉන්ධනකාඩ් පත මේ දෙදෙනා විසින්ම සකස් කර ගත්තේ අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය හිඟයකින් තොරව ලබාගැනීමේ අරමුණෙනි. 

 

ඉන්ධන නිකුත් කිරීමේ පිරවුම්හල් වෙත යතුරු පැදි දෙකම එකවර ගෙන ගොස් පෙට්‍රල් ලබා ගැනීම බිරිය විසින් සිදුකර ගැනීමට පුරුදු වී සිටියේ යතුරුපැදි දෙකෙම අවසන් අංක සමාන වූ බැවිනි.


මේ අතර දිනක් සැමියා තමා සතු යතුරු පැදිය මිතුරෙකුගේ ගමනක් යාමට දින කීපයකට ගෙන ගොස් දීමට අවශ්‍ය වී ඇතැයි බිරිඳට පවසා යතුරුපැදිය රැගෙන ගියේය. 

 

දින කීපයක් ගත වූවත් යතුරුපැදිය මිතුරාගෙන් ඉල්ලා ගෙන ඒමට සැමියා උනන්දුවක් නොදක්වන බව වටහා ගත් බිරිය යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල වෙත පැමිණෙන්නෙ ්දැයි විපරම් කර බැලීමට පියවර ගත්තේ ස්වාමි පුරුෂයාට දැන ගන්නට ඉඩ නොතබමිනි.


බිරිය රාජකාරි සඳහා යාමට පෙට්‍රල් ලබා ගැනීමට තෙල් පිරවුම් හලට ගොස් තෙල් පෝලිමේ සිටින විට තම ස්වාමි පුරුෂයාගේ යතුරු පැදියට සමාන අංකයක් සහිත යතුරු පැදියක්, සුරූපී, ජේත්තුකාර තරුණියක විසින් පැදගෙන විත් තමාට ඉදිරියෙන් තෙල් පෝලිමේ සිටින බව දැක ගන්නට ඇයට හැකි විය. 

තමන් මේ දකින යතුරුපැදිය  වෙනත් අංකයක එකක් දැයි දැන ගැනීමට, පළාත් සංකේත කරන ඉංග්‍රීසි අකුරු සමග අංකය පැහැදිලි කරගැනීමට ඉතාමත්ව ළංවී යතුරු පැදියේ අංක තහඩුව ගැන විමසිලිමත්ව විපරම් කර බැලු‍වාය.


තමන්ගේ යතුරු පැදියේ අංක තහඩුව ගැන විපරම් කරන  කාන්තාව ගැන සැක සිතූ තරුණිය “ඇයි අක්කෙ, බයිසිකලේ ගන්නද බැලු‍‍වෙ?” යැයි ඇසුවාය. 

 

ඒ වන විට  නිවැරදිවම මේ යතුරුපැදිය තමන්ගේ ස්වාමි පුරුෂයා සතු යතුරුපැදිය බවට හඳුනාගෙන සිටි ඇය, “නෑ නංගි මගේ බයිසිකලේට වඩා ටිකක් ජෙන්ටමල්, හැඩේ බයිසිකලේ නිසා බැලු‍‍වේ. මොකක්ද නංගිගෙ නම. කොහේද පදිංචි, රක්ෂාවක් කරනවද?” යනුවෙන් කාන්තාව තරුණියගෙන් දිගටම ප්‍රශ්න කරගෙන ගියේ සුහද ලීලාවෙනි. ඇය තරුණියට සැක නොසිතෙන පරිදි  කථා කරගෙන ගියේ, තොරතුරු දැනගෙන  අසුවුණ හොරය ගැන ස්වාමි පුරුෂයාට නිවැරදිවම කරුණු කියා පෑමේ අදහස ඇතිවය.


“අක්කේ මේ බයිසිකලේ මගේ නොවෙයි, මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ. මම ටික දවසකට ඉල්ල ගත්තා සතියක පුහුණු කඳවුරකට යන්න.”


  “හොඳයි නංගි යමු. තෙල් පෝලිමත් පොම්පේ ළඟටම ආවා.” කියා කාන්තාව තරුණිය සමඟ කළ කථා බහ හමාර කර ඉන්ධන ලබා ගැනීමට යතුරු පැදිය ළඟට ගියාය.


රාජකාරියට ගොස් ගෙදර පැමිණි බිරිඳ වෙනදා නොමැති හැසිරීම් රටාවකින් කට යුතු කිරීම ගැන ගැන විපරම් කළ ස්වාමි පුරුෂයා “අද මොකද මුහුණ  පුම්බගෙන, මගදී කරදරයක්වත් වුණාද”යි ඇසීය.


ඔහුගේ ඇඟට කඩා පැන්න බිරිඳ “අර..... ...කෙල්ලට තමුසෙ බයිසිකලේ දුන්නෙ මොන යාළුකමකටද? යාළුවට දීපු බයිසිකලේ පැදගෙන තෙල් ගහන්න ආවෙ යෙහෙළියක්. ඒකි මට ඔක්කොම විස්තරේ කිව්ව. අදම, දැන්මම ගිහින් බයිසිකලේ ගේනව හොඳයි. ඉතුරු හරිය මම පස්සෙ බලාගන්නම්.”


 සිදුවී ඇති පලහිලව්ව තේරුම් ගත් ස්වාමි පුරුෂයා මුවින් නොබැන නිවසින් පිටව ගියේ “හොරේ අද අතටම අසුවුණා” යයි තමන්ටම කියා ගනිමිනි.

views

178 Views

Comments

arrow-up