ඩිස්පැන්සරියට එන රෝගීන්ට මුල් තැන දෙන කුරුණෑගල රෝහල් වෛද්‍යවරයාට 76 හැවිරිදි සීයා ඉගැන්වූ පාඩම

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවති අක්ෂි සායනයකදී වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා ලැබූ හැත්තෑ හය හැවිරිදි වයෝවෘද්ධ පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුරුණෑගල පොලිසියේ විවිධ පැමිණිලි අංශය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.
එම නියෝගයට අනුව හැත්තෑ හය හැවිරිදි අක්ෂි රෝගියා වන සැකකරු රුපියල් ලක්ෂ දෙකක වටිනාකමින් යුත් ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය. මෙලෙස ඇපමත මුදා හරිනු ලැබුවේ මල්කඩුවාව, ගුණරතන මාවත පදිංචි බෙනඩික් හෙට්ටිආරච්චි නමැති 76 හැවිරිදි අක්ෂි රෝගියාය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල පොලිසියේ විවිධ පැමිණිලි අංශය අධිකරණයට දැනුම් දුන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවති අක්ෂි සායනයකට පෙනී සිටීම සඳහා ගොස් සිටි මෙම සැකකරු එම අක්ෂි සායනයේ සේවය කරමින් සිටි වෛද්‍ය ලංකා රණසිංහ යන අයගේ රාජකාරියට බාධා කළ බව පවසමින් ඔහු පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවය.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පැවසූ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන් නොමැති බවද අධිකරණයට දැනුම් දුන්හ. මේ අනුව වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාර වයෝවෘද්ධ අක්ෂි රෝගියා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සිදුවී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ අක්ෂි සායනයේදී එදිනට පරීක්ෂා කිරීමට අංක ලබා දී ඇත්තේ රෝගීන් අසූ දෙනකුට පමණක් බවයි.
තම සේවාදායකයාට ලැබී තිබූ අංකය 63 බව අධිකරණයට කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, පැමිණිලිකාර වෛද්‍යවරයා අංක පිළිවෙළට රෝගීන් පරීක්ෂා කිරීමෙන් බැහැර වී, අංක ලබා නොගත් පිටස්තර රෝගීන් පරීක්ෂා කර ඇති බවද අධිකරණයට පැවසීය.
එලෙස අංක රහිතව පරීක්ෂා කර ඇති රෝගීන් පැමිණිලිකාර වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් බවද දැඩි ලෙස කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, තම සේවාදායකයා දුප්පත් පුද්ගලයෙකු බවත්, ඔහු අක්ෂි රෝගයෙන් පෙළෙන 76 හැවිරිදි වයෝවෘද්ධයෙකු බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙතරම් වයෝවෘද්ධ මට්ටමේ පසුවන අක්ෂි රෝගියෙකු වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කළ බවට අභූත චෝදනාවක් මත බන්ධනාගාරගත කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටීම ලැජ්ජාවට කරුණක් බවද, වෛද්‍යවරුන් ලවා විවිධ වෛද්‍ය වාර්තා ලබාගන්නා පොලිසිය ඔවුන් පිනවීමට වයෝවෘද්ධ අක්ෂි රෝගියෙකු බන්ධනාගාරගත කිරීමට උත්සාහ කිරීම ශිෂ්ටසම්පන්න නොවන බවද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා, සැකකාර වයෝවෘද්ධ අක්ෂි රෝගියා බන්ධනාගාරගත කරන ලෙසට කුරුණෑගල පොලිසිය කළ ඉල්ලීම තරයේ ඉවත දමමින්, සැකකරු රුපියල් ලක්ෂ දෙකක වටිනා ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් කුරුණෑගල පොලිසිය විවිධ පැමිණිලි අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනවිරත්න මහතා පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පෙනී සිටියේය.
නඩු විභාගය තවදුරටත් කල් තබන ලද අතර, අධිකරණය මගින් සැකකරුට නිදහස ලබා දීම රෝහල් පරිශ්‍රය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව වැඩිදුර විමර්ශන කිරීමට හේතු වනු ඇතැයි නීතිඥවරුන් අදහස් දක්වා තිබේ.
මෙම සිද්ධිය රෝහල් පද්ධතිය තුළ වන අකටයුතුකම් හා වෙනස්කම් කිරීම් සම්බන්ධයෙන් මහජන අවධානය යොමු කිරීමට හේතු වී ඇත.
රාජ්‍ය සේවා සපයන ආයතනවල වෘත්තීයමය ප්‍රමිතීන් ගැන ප්‍රශ්න මතු වන මෙවැනි සිද්ධි වාර්තා වීම සමාජය තුළ කලබලකාරී තත්ත්වයක් ඇති කර ඇති අතර, රජයේ රෝහල්වල සේවාවන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බව මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින් අවධාරණය කර තිබේ.
සමස්තයක් ලෙස ගත් කල, මෙම නඩු තීන්දුව මගින් සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ වැදගත්කම මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ද ඉස්මතු වී ඇත. වයෝවෘද්ධ රෝගීන් සමඟ සැලකිලිමත් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මෙම සිද්ධිය මගින් පෙන්නුම් කර ඇත.
වෛද්‍ය රණසිංහ මහතා සහ රෝහල් පරිපාලනය මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැති අතර, මෙම නඩුව ඉදිරියේදී නැවත විභාගයට ගැනෙනු ඇත.
279 Views
Comments