ඩෑන් ප්‍රියසාද්ගේ පැටිකිරිය මෙන්න

අද (22) දිනයේ වෙඩි වැදි මියගියැයි මුල් වාර්තා පළවු හා පසුව තත්වය බරපතල බව කියු ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් හෙවත් 'ඩෑන් ප්‍රියසාද්' යනු කාලයක් තිස්සේ සමාජ මාධ්‍ය තුළ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හා ප්‍රකාශයන් නිසා කථාබහක් ඇති කළ පුද්ගලයෙකි.
ඔහු කලින් කල විවිධ සංවිධාන වෙනුවෙන් පෙනී සිටි අතර බොහෝ විට සිංහල ජාතිවාදී මතය, රාජපක්ෂ වාදී මතය නියෝජනය කරමින් අදහස් දැක්වූ අයෙකි.
ඔහුගේ අදහස් දැක්වීම් වලට නිරන්තරයෙන්ම මයික්‍රෆෝන යොමුවන නිසා ඇතැම් මතවාදී කණ්ඩායම් , දේශපාලකයින් ඔහුව කුලියට පාවිච්චි කළ බවටද විවේචන තිබේ.
ජාතික ව්‍යාපාර වල කැඳවුම්කරුවකු ලෙස පෙනී සිටි ඩෑන් 2015-19 කාලයේ යහපාලන සමයේ විරුද්ධ මතදරන්නෙකු හා ජාතිවාදී අදහස් වැපිරීම් නිසා බෙහෙවින් ප්‍රකට විය.
අසත්‍ය ප්‍රචාර අන්තර් ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්වූ අතර මුලින්ම 2019 ඔහු සැකපිට අත්අඩංගුවට පත්වූයේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසට තවත් දෙදෙනෙකු සමග ගොස් බැන වැදී බිය ගැන්වීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුවයි.
දූෂණ විරෝධී පෙරමුණේ නාමල් කුමාර සහ මහසොන් බලකායේ අමිත් වීරසිංහ යන අයද ඔහු සමග පොලිස් අත්අඩංගුවට පත්විය.
සිංහලේ සංවිධානයේ සභාපති ලෙස කලක් කටයුතු කළ ඩෑන් රාජපක්ෂ වරුන්ට දේශපාලනය සඳහා අවශ්‍යවූ ජාතිවාදී මොඩලය ශක්තිමත් කළ අයෙකු ලෙස පිළිගැනිණි.
පසුගිය 2022 මැයි 09 දා අරගලවලට පහර දීමේ සිද්ධි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අනුව පිරිස් අරලියගහ මන්දිරයට කැඳවා උසිගන්නා පිටත් කළ බවට චෝදනා ව ලක්වූ අය අතර ඩෑන් ප්‍රියසාද් සිටියේය.
අත්අඩංගුවට පත්වීමෙන් වැළකිමට ඇතිවූ කලබලකාරී තත්වයන් නිසා පහරදීමකින් තුවාල ලබා ඇතැයි කියමින් රෝහල්ගතව සිටි ඩෑන් ප්‍රියසාද්ගේ ප්ලාස්ටර් නිරූපණය සැක උපදන්නක් බවට සමාජ මාධ්‍ය තුළ කතාවක්ද නිර්මාණය විය.
2022 වසරේ මැයි මස 09 වැනි දින කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින නඩුවේ හය වැනි විත්තිකරු ලෙස ද ඩෑන් ප්‍රියසාද් නම් කර තිබිණි.
එම නඩු විභාගයට ඔහු සහභාගී නොවීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබූ බව ද වාර්තා විය.
ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවී තිබුනේ වෙනත් නඩුවකිනි.
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඩෑන් ප්‍රියසාද් ට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර 2024 වසරේදී නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගැනීමට උත්සාහ කළ බවට චෝදනා මත එම පරීක්ෂණය ක්‍රියාත්මක විය.
ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඩෑන් ප්‍රියසාද්ට විදේශ ගමන් තහනමක් පනවා තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග කර තිබිණි.
2024 සැප්තැම්බර් මාසයේදී ඩෑන් ප්‍රියසාද් විදේශ ගමන් තහනමකට ලක්වීම නොසලකා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්වීමට යද්දී එසේ නොහැකිව නැවත හරවා යවා තිබූ බව වාර්තා වී තිබූ අතර ඔහු පසුව කෙසේ හෝ හොරෙන් ඩුබායි වෙත පළා ගොස් තිබුණි.
කෙසේ වෙතත් නැවත ඩුබායි සිට පැමිණීමේදී 2025 පෙබරවාරි මාසයේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්විය.
ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයාද 2022 දී අමානුෂික ලෙස ඝාතනයට ලක්විය. වයස අවුරුදු 34 ක් වූ සහෝදරයා වැල්ලම්පිටිය කුරුනියාවත්තේ පදිංචිකරුවෙකු වූ අතර ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී 2022 ජූලි 21 දා රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩු සහ මන්නා වලින් පහරදී ඝාතනය කර තිබුණි.
පාතාල ජාලය හා මත්ද්‍රව්‍ය ජාලය සමග ඩෑන් හා සහෝදරයාට සබඳතා තිබූ බවටද වාර්තා පළවිය.
කලින් කල විවිධ සංවිධාන වල තනතුරු මාරුවෙමින් ඔහු පෙනී සිටි අතර සිංහලේ සංවිධානයෙන් පසු නව සිංහලේ සංවිධානයේ සභාපති වූ අතර පසුව අපේ ජන බල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද පසුව නම වෙනි සේනාංකයේ සභාපති ලෙසද පෙනී සිටියේය.
ඔහුට විරුද්ධව මත දරන්නන් හා කණ්ඩායම් බොහෝ සිටි අතර ඩෑන් ඝාතනය ට උත්සාහ කරේ ඇයිද යන්න හා කළ අය කවුද යන්න ඉදිරි පරීක්ෂණ අනුව හෙළිදරව් වනු ඇත.
- උපුටා ගැනීමකි.
1140 Views
Comments