“කිරි අම්මට දැන් වැඩ කරන්නත් අමාරුයිනෙ” - දාසයේ මුණුපුරා ගෙදර වැඩ කරන්න මනාලියක් ගේන්න ආච්චිගෙන් අහලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

“කිරි අම්මට දැන් වැඩ කරන්නත් අමාරුයිනෙ” - දාසයේ මුණුපුරා ගෙදර වැඩ කරන්න මනාලියක් ගේන්න ආච්චිගෙන් අහලා

“කිරි අම්මට දැන් වැඩ කරන්නත් අමාරුයිනෙ” - දාසයේ මුණුපුරා ගෙදර වැඩ කරන්න මනාලියක් ගේන්න ආච්චිගෙන් අහලා

දාසයේ පාසල් මුණුබුරා මනමාලියක් ගේන්න දැයි මිත්තනියගෙන් ඇසූ පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


දුෂ්කරතා සහිත ගම්මානයකි. මෙහි වයස අවුරුදු 77ක හා 74ක වයෝවෘද්ධ යුවළක් පදිංචිව සිටිති.

 

මෙම යුවළගේ දියණිය විවාහ වී රජරට ප්‍රදේශයේ පදිංචි වී සිටි අතර පිරිමි දරුවා විවාහ වී කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.


ලෙඩක් දුකක් සෑදුණුවිට බලන්න කෙනෙකු නොමැති බැවින් පදිංචිව සිටින ඉඩම කාට හෝ විකුණා තමන් ළඟට පැමිණෙන ලෙස පිරිමි දරුවා මව්පිය යුවළට අවස්ථා කිහිපයක දීම දන්වා ඇතත් යෝජනාව වයෝවෘද්ධ මව්පිය යුවළ එක හෙළාම ඉවත දමා ඇත.


දියණියද මව්පිය යුවලට ඇගේ ළඟට ගැනීමට කතා කළද දුෂ්කර පළාතක් යැයි පවසා එයද මව්පිය යුවළ ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.


පිරිමි දරුවන් තිදෙනෙකුම සිටින දියණිය කල්පනා කර මීට වසර දෙකකට පමණ ඉහත දී දෙවැනි පිරිමි දරුවා වයෝවෘද්ධ මව්පිය යුවළ පදිංචිව සිටින මහ ගෙදර නිවෙසේ ඔවුන්ගේ තනි නොතනියට නතර කළාය. 


ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර තිබූ මුණුපුරා ඔහුගේ පාසල් ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර පාන්දර නැගිට කන්න උයා පිහා දෙන්නේද මිත්තනිය විසිනි. 

 

සෑම දවසකම හැන්දෑවට වයෝවෘද්ධ සීයා ගමේ මත්පැන් කාලක් පානය කර නිවෙසට පැමිණ මිත්තනියට නගන දොස් වලින්ද අඩුවක් නොමැති බව ශිෂ්‍යයා හරි හැටි තේරුම් ගත්තේය.


මෙම වයෝවෘද්ධ යුවළ සමඟ පදිංචිව සිටින මුණුපුරා ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින ශිෂ්‍යයෙකි.

 

අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද අති දක්ෂ නිසා විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයද ශිෂ්‍යයාට ආදරය, කරුණාව ද දක්වයි. 

 


ඔහු මාස හත අටක සිට සිය පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අල්ලපු ගමේ පදිංචිව සිටින පාසල් ශිෂ්‍යාවක සමඟ රහසිගතව ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියද වයෝවෘද්ධ මිත්තනිය හා සීයාද ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් දැන සිට නැත. 


මිත්තනිය කන්න බොන්න සකස් කර දෙනවා සේම ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර දෙන අයුරු දුටු මුණුපුරා දිනක් පාසල් ඇරී නිවසට පැමිණ සිටින අවස්ථාවේදී මිත්තනිය අසලට පැමිණියාය.


“කිරි අම්මේ කිරි අම්මාට දැන් බෑනේ මට කන්න උයලා ඇඳුම් පැළඳුම් හෝදලා දෙන්න. අපි තුන් දෙනාට කන්න උයයි. මගේ රෙදි ටිකත් හෝදයි කිරි අම්මගෙයි අත්තගෙයි චීත්තයක්, සරමක් පවා හෝදලා දෙයි ගැහැනු ළමයෙක් ඉන්නවා මම එක්කරගෙන එන්න ද? කිරි අම්මේ” යැයි විමසීමක් කළේය. 


මිත්තනියගේ දකුණු අත කම්මුලට ගොස් ඇත්තේ එම අවස්ථාවේ දී විදුලි වේගයෙනි. 

මිනිත්තු කිහිපයක් මුණුපුරා දෙස එක එල්ලේ බලා සිට ඇති මිත්තනිය “නෑ.. නෑ.. එපා එක්කරගෙන එන්න. උඹට දෙයි කෙල්ලගේ දෙමව්පියෝ ඔය කියන කෙල්ලව එක්කරගෙන එන්න. මට තවම හොඳට සවි ශක්තිය තියෙනවා ගෙදර දොරේ වැඩ ටික කර ගන්න. පුතේ උඹ දැන් හොඳට ඉගෙන ගනින්. දැන්ම මඟු‍ල් විසේ ඔළුවට ගත්තොත් ඉගෙන ගන්න බැරි වෙයි. ” කියා කීවේ මුණුපුරා හැකි ඉක්මනින් දියණියගේ ගෙදරට යැවීමේ ක්‍රමයක් ගැන සිතමිනි. 

views

452 Views

Comments

arrow-up