අධ්‍යාපනයට වෙලා තියෙන දේ සහ වෙන්න ඕන දේ හරිනි කියයි.

ඇති වී තිබෙන අර්බුදයට විසඳුම් සොයනවා වෙනුවට එය තව තවත් තීව්‍ර කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කෙතරම් කාලයක් මෙය ඉවසා ගෙන සිටිය හැකිවේවිද යන ප්‍රශ්නය මතුවෙන බව අදහස් දැක්වීමකදී ඇය ප්‍රකාශ කර සිටියාය.
“මේ ගන්නා තීන්දු තීරණ සියල්ලම ජනතාවගේ ප්‍රශ්න තේරුම් නොගෙන, එක පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි. මේ ආණ්ඩුව IMF එකේ උපදෙස් වට්ටෝරුව ක්‍රියාත්මක කරමින්, ජනතාවගේ දරිද්‍රතාවය වැඩිකරමින් තිබෙනවා. ජනතා ප්‍රශ්නවලට යම්කිසි විදිහකට රැකවරණය ලබාදුන් සමාජ ආරක්ෂණ ක්‍රමයත් ක්‍රමානුකූලව නැති කරමින් යනවා.
මානව සම්පත රැකගැනීමේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය. ආණ්ඩුවේ ප්‍රධාන වගකීම ජනතාව රැකගැනීමට නම්, පාලකයන් මේ ක්ෂේත්‍ර දෙක කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. අද වන විට මේ ක්ෂේත්‍ර දෙකම බරපතළ අවධානමක තිබෙනවා.
දරිද්‍රතාවයේ ඉහළින්ම පෙළෙන ජනතාවට සොච්චම් සහනයක් ලබාදුන්නු සමෘද්ධි ව්‍යාපාරයත් නැති කරමින් ඒ වෙනුවට ‘අස්වැසුම’ නමින් නව වැඩසටහනක් නිසා ජනතාව අතර බරපතළ ප්‍රශ්න රාශියක් ඇතිකර තිබෙනවා. මේ මතුවී තිබෙන ගැටලු කිසිවක් අහම්බයකින් ඇති වූවා නොවෙයි. ඒවා 1978 න් පසුව ක්‍රියාත්මක වුණු සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නිසා ඇති වී ඇති බව තේරුම් ගන්න ඕනෑ.
දශක කිහිපයක් පුරාවට ආණ්ඩුව සමාජ ආරක්ෂණය සහ වගකීමෙන් ඈත්වීමේ ප්‍රතිඵලය ලෙස අද වෙන විට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත්, අධ්‍යාපන ක්ෂේත්‍රයෙත් ඇතිවී තිබෙන ගැටලුවලට හේතුව වී තිබෙනවා. සමාජ ආරක්ෂණයෙන් ආණ්ඩුව අයින් වීම නිසාම සමාජ ආරක්ෂණයේ වගකීම පැවරෙන්නේ පුද්ගලික වගකීමක් හැටියට.
එවිට තමන්ගේ ආරක්ෂණයත්, තමන්ගේ සාර්ථකත්වයටත් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ‘පුද්ගලිකය’ කියන ඒ අදහස ක්‍රමානුකූලව සමාජය තුළ ගොඩනඟන්න පටන් ගන්නවා. ඒ නිසා මානව සම්පත් දියුණු කිරීමට, ආරක්ෂා කිරීමට අවශ්‍ය සේවාවන්වලට, වෙළඳපොළ මත යැපෙන්නටත් අපට බලකිරීමක් කරනවා. රජය මේවායින් අයින්වීමත්, ආණ්ඩු මේවාට වග නොකියන නිසාත්, ජනතාව හැටියටත් පුරවැසියන් හැටියටත් ක්‍රමානුකූලව වෙළඳපොළ හරහා මේවාට විසඳුම් සෙවීමට සිදුවෙනවා.
අද වන විට අධ්‍යාපනය පවත්වාගෙන යාම භාරදී තිබෙන්නේ වෙළඳපොළට. දරුවන්ගේ පාසල් යාම, පාසල්වල තිබෙන ප්‍රශ්න නිසා ඔවුන්ට බලකරනවා, පාසල්වලින් පිටත තිබෙන පන්තිවලින් ඉගෙන ගැනීමට. මේ නිසාම පවුල් හැටියට අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. මේ හරහා බරපතළම ප්‍රශ්නය වෙන්නේ අධ්‍යාපනය මහජන සේවාවක් වෙනුවට වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීමට පත්වෙලා තිබීම. වෙළඳ භාණ්ඩයක් වීම තුළම, එයට පුද්ගලික ආයෝජනයක් සිදුවීමත්, පුද්ගලික ප්‍රතිලාභ ලැබීම, පුද්ගලික වගකීමක් දැරීම සිදුවෙනවා.
දරුවෙකුට අධ්‍යාපනය ලබාදීමට විශාල වියදමක් දැරීමටත්, එය තමන්ටම දැරීමටත්, එය සාර්ථක වීම හෝ අසාර්ථක වීම පවුල සහ දරුවාට භාර ගැනීමටත් සිදුවෙනවා. ඒ නිසාම අධ්‍යාපනය තුළින් සමාජයට ලැබිය යුතු ප්‍රතිලාභ වෙනුවට තනි තනිවම ප්‍රතිලාභ ලබන තත්වයට පත්වී තිබෙනවා. පසුගිය දශක හතර තුළ ක්‍රමානුකූලව සිදුවෙමින් තිබූ දෙය තමයි ආණ්ඩුව අධ්‍යාපනයට ඉටුකළ යුතු සමාජ වගකීම, පුද්ගලික වගකීමක් බවට පත්වී විකෘති කිරීමක් බවට පත්වෙලා තිබෙනවා.
ඒ නිසාම අධ්‍යාපනයේ අරමුණු සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ අන්තර්ගතය, ඒ ඒ විෂය තුළ අන්තර්ගතය, අධ්‍යාපන පරිපාලනයද, ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය, ශිෂ්‍යයන් සහ සමාජය අතර ඇති සම්බන්ධතාවය, අධ්‍යාපන ආයතන හා සමාජය අතර සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. සම්බන්ධතා ක්‍රියාවලියක් වෙනුවට පුද්ගලික ක්‍රියාවලියක් බවට පත්වී තිබෙනවා. මේ සියල්ල වෙනස් විය යුතුයි. වෙනස් කළ යුතුයි. අපේ රටට අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගෙන ආ යුතුයි” යනුවෙන් මන්ත්‍රීවරිය සඳහන් කරයි.
474 Views
Comments