ලිංගික අධ්‍යාපනය දරුවන්ගේ අයිතියක්

විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලැබීම හරහා කුඩා අවදියේ සිට ම ස්වයං පාලනය, ආත්ම විශ්වාසය, චිත්තවේගීය යහපැවැත්ම, සබඳතා තුළ මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමේ හැකියාව, තම ලිංගික දිශානතිය සහ ලිංගික සෞඛ්‍යය පිළිබඳ වැදගත් තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම සිදු වේ. එවිට හොඳ ස්වයං අවබෝධයක් ඇති, අනෙකාට ගරු කරන පෞරුෂයකින් හෙබි පුද්ගලයෙක් සමාජයට එකතු වේවි.
ලිංගික අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වූ විට දරුවන් ලිංගික ව සම්ප්‍රේෂණය වන ආසාදන, සැලසුම් නොකළ ගැබ් ගැනීම් සහ ලිංගික අවයව පිළිබඳ ව නිසියාකාර දැනුම්වත්භාවයක් නොමැතිකම නිසා මිත්‍යා මතවල පහසු ගොදුරක් වීමේ අවදානම්වලට මුහුණ දේ. බරපතල ම කාරණය වන්නේ අවිධිමත් ලිංගික අධ්‍යාපනය හරහා ස්වයං විශ්වාසයක් නොමැති, අන්‍යයන්ට ගරුත්වයක් නොදක්වන පුද්ගලයෙක් බිහි වීම යි.
ස්වීඩනයේ අධ්‍යාපනඥයන් මේ බව තේරුම් ගත්තේ වර්ෂ 1955 තරම් ඈත කාල වකවානුවක දී යි. එම වර්ෂයේ දී ලිංගික අධ්‍යාපනය අනිවාර්ය අංගයක් ලෙස තම අධ්‍යාපන පද්ධතියේ පැවතිය යුතු බව ස්වීඩන රජය තීරණය කරන ලදි.
ලිංගික අධ්‍යාපනය එක් විෂය පථයකට සීමා නොකර, සියලු විෂය ධාරාවලට සංයුක්ත වන ස්වභාවයෙන් ඇතුළත් කර තිබීම ස්වීඩන අධ්‍යාපන ක්‍රමය තුළ දැකිය හැකි වැදගත් ලක්ෂණයකි. ලිංගික අධ්‍යාපනය යනු හුදෙක් ශරීරයේ භෞතික වෙනස්කම් පැහැදිලි කිරීම සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුම පමණක් නොවන බව ඉන් තහවුරු කර තිබේ.
453 Views
Comments