මනාල යුවල දෙකකට කොරෝනා - එක් මනාල යුවලක් උත්සව තුනක් අරන් මධුසමයට නුවරඑළියටත් ගිහින්

හෝමාගම ප්‍රදේශයේ මනාල යුවළ දෙකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
ඉන් එක් මනාල යුවලකගේ මංගල උත්සව තුනක් පවත්වා ඇති අතර ඒ සඳහා අවසර ලබාගෙන ඇත්තේ උත්සව දෙකකට පමණක් බවයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා සඳහන් කළේ.
කඩුවෙල රනාල ප්‍රදේශයේ නිවසක පළමු දිනයත්, දෙවන දිනය පාදුක්ක මීපේ ප්‍රදේශයේ හෝටලයකත්, අනික් උත්සවය පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසක පවත්වා තිබෙනවා. එම මංගල උත්සව තුනෙන් පසු මනාල යුවල නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක මදුසමය සඳහා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
නුවරඑළියේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ PCR පරීක්ෂණවලදී යුවළට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස පවුල් සියයකට වැඩි පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා සඳහන් කළේ.
අනික් මනාල යුවළ හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක විවාහ උත්සවය පවත්වා ඇති අතර රෝග ලක්ෂණ හේතුවෙන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඔවුන් ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මංගල උත්සවයට සහභාගි වූ දොළොස් දෙනෙකු ද මේ වන විට කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
706 Views
Comments