ව්‍යාපාරිකයෙකුගේ ඝාතන තැතකට අත්අඩංගුවට ගත් හිටපු කොස්තාපල් පොලිසියේදී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

ව්‍යාපාරිකයෙකුගේ ඝාතන තැතකට අත්අඩංගුවට ගත් හිටපු කොස්තාපල් පොලිසියේදී මරුට

ව්‍යාපාරිකයෙකුගේ ඝාතන තැතකට අත්අඩංගුවට ගත් හිටපු කොස්තාපල් පොලිසියේදී මරුට

ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සූදානමින් සිටිය දී අත්අඩංගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේදී පෙරේදා (25 වැනිදා) හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

 

වැඩ තහනමට ලක්ව සිටි මෙම හිටපු පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටි අයකු බව පොලිසිය පවසයි.

 

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටිය දී මෙම සැකකරු ඉතාම කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බවද පොලිසිය පවසයි.

 

මත්ද්‍රව්‍ය නොමැතිව සිටීම නිසා මොහු මේ ආකාරයට කලහකාරී ලෙස හැසිරී ඇති අතර අවස්ථා කීපයකදීම තම හිස සිරමැදිරියේ බිත්තිවල පවා හප්පාගෙන සිටි බවද පොලිසිය කියා සිටියි.

 

පසුව මේ පිළිබඳව සැකකරුගේ මව්පියන් දැනුවත් කර ඇත. ඔවුන්ද පැමිණ මොහු සන්සුන් කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී තිබේ. පෑලියගොඩ අපරාධ කොට්ඨාස සිර මැදිරියේදී හදිසි රෝගි තත්ත්වයකට ලක්වූ සැකකරු පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මොහු මියගොස් තිබේ.

 

ගම්පහ ඔස්මන් නැමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල නායකයාගේ නියෝග මත පාතාල සාමාජිකයන් 05 දෙනකු ආයුධත් සමඟ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

 

එම පස්දෙනා අතර සිටි හිටපු කොස්තාපල්වරයා මාලිගාවත්ත සහ පිටකොටුව පොලිසිවල රාජකාරි කළ නිලධාරියෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා මොහු වැඩතහනමට ලක්කර තිබූ අතර පසුව මොහු කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලිය හා සම්බන්ධ වී ඇත.

 

ඔස්මන් ඝාතනය සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ කැබ් රථය ගෙනැවිත් ඊට අවශ්‍ය පහසුකම් සකසා ඇත්තේ මෙම හිටපු කොස්තාපල්වරයා විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

 

මෙසේ මියගිය හිටපු කොස්තාපල්වරයා 27 හැවිරිදි වියේ පසුවන හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

views

289 Views

Comments

arrow-up