මුස්ලිම් බහුතරය කාති උසාවිවලට කැමති නැහැලු

මුස්ලිම් ජනතාවගේ දික්කසාද නඩු සම්බන්ධයෙන් පිහිටුවාගෙන ඇති කාති උසාවි මගින් කිසිදු සාධාරණයක් ඉටු නොවන බවත් මෙම කාති උසාවි ලංකාවෙන් ඉවත්කර එකම පොදු නීතියක් යටතේ කටයුතු කිරීමට කාලය එළඹ ඇති බවත් මුස්ලිම් දික්කසාද වියත් හවුලේ ලේකම් එන්.එම්. මර්සුක් මහතා පවසයි.
මර්සුක් මහතා මෙම අදහස් පළකළේ පසුගියදා බදුල්ලේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මර්සුක් මහතා මෙසේද පැවසීය.
මෙම කාති උසාවියේ කාතිවරුන් නිසියාකාරව නඩු විසඳන්නේ නැහැ’ ඔවුන් ඒකපාර්ශ්වීයවයි කටයුතු කරන්නේ. ඒක පාර්ශ්වීය තීන්දු ලැබෙන පාර්ශ්වයන් මෙම උසාවියට කැමති ඇති. මොකද ඔවුන් බලාපොරොත්තුවන දෙය ලැබෙන නිසා මුදල් බලයට හැමදේම යට ගහන්නත් සමහර උදවිය කටයුතු කරනවා.
මොන රටේද කසාද බැඳපු දෙදෙනෙක් දික්කසාද කරන්න කටයුතු කරන්නේ. හැකි තරම් ඒ අඹු සැමියන් එකතු කරන්න නේද කවුරුත් කටයුතු කරන්න ඕනි. නමුත් මෙම කාති උසාවියෙන් කරන්නේ අඹුසැමියන්ගේ දික්කසාදයට රුකුල් දීමයි.
මේ කාතිවරුන්ට නිසි සුදුසුකමක් නැහැ. සමහරු විශ්‍රාම ගිය ගුරුවරුන්. සමහර අය ව්‍යාපාරිකයන්. සමහරු කම්කරු රැකියා කරනවද කියලා අපි නම් දන්නේ නැහැ. අනිත් එක තමයි මොන උසාවියටද පිහියක් දුරකථනයක් ගෙනියන්න පුළුවන්. මේ කාති උසාවිවලට මේවා අරගෙන එන අය ඉන්නවා. බොරු නම් මට විරුද්ධව නඩු දාන්න. මාත් මේ කාති උසාවියෙන් අසාධාරණයට ලක්වූ කෙනෙක්.
අනිත් කාරණය තමයි දෙන්නෙක් කසාද බැඳලා ජීවත් වෙලා යම් ප්‍රශ්නයක් ඇති වුණොත් තමයි කාති උසාවියට යන්නේ. ඒ යනකොට දෙදෙනා ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ මේ නඩුව දාන්න බැරි තත්ත්වයක් තිබෙනවා. ඒක තීරණය කරන්නේ කාති උසාවිය. මගේ බිරිඳ කොළඹයි ඉන්නේ’ නමුත් අපි ජීවත්වෙලා හිටියේ බදුල්ලේ. මගේ නඩුව දාන්න යන්නේ කොළඹ.
එහේ ඉන්න කාතිවරයා කොහොමද මගේ පවුල් පසුබිම දන්නේ. ඒකයි මම කියන්නේ මේ උසාවිය අපේ මුස්ලිම් ප්‍රජාවට ගැළපෙන්නේ නැහැ. මුස්ලිම් බොහෝ පිරිසක් මෙම කාති උසාවි ක්‍රමයට කැමති නැහැ. නමුත් කරන්න දෙයක් නැති නිසා කට වහගෙන ඉන්න වෙලා තියෙනවා. ඒ නිසයි අපි එළියට ඇවිත් මේ ප්රශ්නය සාකච්ඡාවට ගන්න උත්සාහ කරන්නේ. මුස්ලිම් කටයුතු ඇමැති හෝ අධිකරණ ඇමැති මේ ප්‍රශ්නයට මැදිහත්වෙලා මේ කාති උසාවි අවලංගු කරන්න කියල අපි ඉල්ලනවා.
ශ්‍රී ලංකාවේ මොන ජාතිවල ආගම්වල අය හිටියත් ඒ හැම කෙනාටම පොදු නීතියක් ගෙන එන්න කියලයි අපි කියන්නේ.
මව්රට පුවත්පතින්..
1130 Views
Comments