කම්කරු වැටුප් 1700ට වැඩිකරන්න බෑ - වතු සමාගම්

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවය.
කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය පෙරේදා දිනයේ නිකුත් කරනු ලැබීය.
ඒ අනුව දෛනික වේතනය රුපියල් 1,350ක් වන ලෙසත් දෛනික විශේෂ දීමනාව රුපියල් 350ක් වන ලෙසත් වතුකම්කරු වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ දමා තිබේ.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, මේ අවස්ථාවේ අදාළ වැටුප් ඉහළ නැංවීමට හැකියාවක් නොමැති බවය.
"දැනටමත් අපේ ලංකාවේ තේවලට ඉතා ශීඝ්‍රයෙන් ලෝක වෙළෙඳපොළ අහිමි වෙමින් යනවා මිල ගණන් වැඩි නිසා. මේකෙන් තේ නිෂ්පාදකයින් ලොකු ප්‍රශ්නයකට මුහුණදෙනවා. අපි හදපු ප්‍රශ්නයක් නෙමෙයි මේක. අපි බලමු උපදෙස් අරන් මොනවා ද කරන්න පුළුවන් කියලා. ගෙවන්න බැරි දේකට කැමති වුණොත් නීතිමය ප්‍රශ්නයකුත් එනවා. යෝජනාව හාත්පසින්ම විරුද්ධයි. ගැසට් එකක් ආවා කියලා දැනගන්න ලැබුණා. බලමු ඉදිරියට මොකද්ද කරන්නේ කියාලා."
233 Views
Comments