ජල ටැංකියක් පිරිසිදු කිරීමට ගිය තරුණයන් දෙදෙනෙකුට විදුලිසැර වැදී බරපතළයි

පෞද්ගලික ආයතනක ඉහළ තට්ටුවක විදුලි සැර වැදී සිටි තරුණයන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.
අද (26) දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර ඒ, මුලතිව්, පුදුකුඩිඉරිප්පු නගරයේ පෞද්ගලික ආයතනකදීය.
එහි ඉහළ මහලේ පැවති ජල ටැංකියක් පිරිසිදු කිරීමට ගිය තරුණයින් දෙදෙනෙකුට මෙලෙස විදුලිසැර වැදී ඇත.
පොලීසිය පැවසුවේ විදුලිසැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු තරුණයින් දෙදෙනා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කොට තිබූ බවය.
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, 10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එලෙස රෝහල්ගත කර තිබුණි.
පළමුව තරුණයෙකු පෞද්ගලික ආයතනයේ ඉහළ මහලේ පැවති වතුර ටැංකිය පිරිසිදු කිරීමට ගොස් ඇති අතර, අදාළ තරුණයා පහළට නොපැමිණීම සම්බන්ධයෙන් විමසා බැලීමට තවත් තරුණයෙකු එම ස්ථානයට ගොස් ඇත.
පොලීසිය සැක කරන්නේ අදාළ ආයතනයේ ඉහළ මහල ආසන්නයේ අධිබලැති විදුලි රැහැන් කිහිපයක් පවතින බැවින් අදාළ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවය.
එසේත් නොමැති නම් වෙනත් විදුලි කාන්දුවකින් අනතුර සිදුවී ඇති බවට සැක කෙරෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
216 Views
Comments