මාසෙකට මිලියන 64ක් ඉන්දියාවට පුදන අලුත් ඩිජිටල් අරක්කු ස්ටිකරයක්

පසුගිය පෙබරවාරි 25 වන දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන, බෙදාහරින මත්පැන් වල ඇසුරුම් සඳහා ආරක්ෂක ස්ටිකරයක් හෝ ඩිජිටල් සලකුණක් ඇලවීම ජුනි 30දා සිට අනිවාර්ය කරමින් නිවේදනයක් නිකුත් කළේය.
මෙම නව ස්ටිකරය හඳුන්වා දීමට ප්‍රධාන හේතු 3කි.
1. බදු හෝ තීරු බදු නොගෙවන මත්පැන් භාවිතය වැලැක්වීම.
2. සුරාබදු ආදායම ආරක්ෂා කිරීම.
3. ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳ පොළට ඒම වැලැක්වීම .
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි නීත්‍යානුකූලව වෙළඳපොලේ අලෙවි වන්නේ සම්පූර්ණ මත්පැන් ප්‍රමාණයෙන් 60% ක් පමණි. ඒ හේතුවෙන් රජයට බිලියන 80කට වැඩි පාඩුවක් සිදු වේ.
හේතුව පැහැදිලි ය. නමුත් කාරිය කළ හැටි පිළිබඳව ප්‍රශ්නයක් ඇත.
මේ ස්ටිකරය ස්ටිකරය ට මුලින්ම ටෙන්ඩර් කැඳවූයේ යහපාලන ආණ්ඩුව සමයේය. ලංකාවේ මුද්‍රණ ආයතන කිහිපයක් ටෙන්ඩර් ඉදිරිපත් කළ ද කවුරුන් හෝ බලවතකුගේ ආශිර්වාදයෙන් මෙය හිමි වූයේ ඉන්දියානු සමාගමකටය.
ආනයනික මත්පැන් සඳහා වැඩේ හරිහැටි සිදුවිය. නමුත් මහා පරිමාණයෙන් මත්පැන් නිපදවන සමාගම් මෙම ඉන්දියානු ස්ටිකරේ ඇලවීම ප්‍රතික්ෂේප කළේ එහි ප්‍රමිතිය බාල වීම නිසාය.
මේ හේතුවෙන් විශේෂ ස්ටිකරය වෙනුවට නෛතික මුද්‍රාව සහිත ඩිජිටල් කේතයක් මුද්‍රණය කිරීමට මුදල් අමාත්‍යංශය යෝජනා කලේය. සමාගම එයට එක පයින් කැමැති වූයේ ස්ටිකරය ඇලවීමට යන මුදලින් 1/8ක්වත් මෙම කේතය මුද්‍රණය කිරීම සදහා වැය නොවන නිසාය.
දැන හෝ නොදැන මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයක් සමග මෙම සමාගමට කලින් ගිවිසගත් මිලටම මෙම කේතය මුද්‍රණය කල හැක. එය හරියට යතුරුපැදියක මිලට පාපැදියක් මිලදී ගැනීමක් වැනිය. ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මෙම සළකුණ මුද්‍රණය කිරීමට මුදල් අමාත්‍යාංශය හා සුරාබදු දෙපාර්තමේන්තුව සමාගමට අනුමැතිය පළ කිරීම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීමකි.
කෙසේ වෙතත් මේ සමග අපේක්ෂිත ආදායම් ලබා ගැනීම පිළිබඳව ද යම් සැකයක් මතුවේ. ඉන්දියානු සමාගම විසින් මෙම ස්ටිකරය හෝ කේතය ඇලවීමේ වගකීම භාර දෙන්නේ මත්පැන් නිෂ්පාදකයාටය. එවිට බඩුත් හාමුදුරුවන්ගේය නඩුත් හාමුදුරුවන්ගේය. එසේම නිසි ආරක්ෂක උපක්‍රම නොමැතිව මෙවැනි කේතයක් මුද්‍රණය කර නිපැයුම මත ඇලවීම ඕනෑම කෙනෙකුට කිරීමට එතරම් අපහසු කටයුත්තක් නොවේ.
අදාල මුද්‍රණය භාර දී ඇති ඉන්දියානු සමාගම කෙන්යාවේ, ලයිබීරියාවේ හා දකුණු සුඩානයේ දැඩි අප්‍රසාදයට පත් වී ඇති සමාගමකි. මේ බෝතලේ ස්ටිකරේ කතාව ඉදිරියට එසේ ලියැවේවි දැයි අපිත් බලාගෙන සිටිමු.
දිවයින ඇසුරිනි.
680 Views
Comments