කෑගල්ල, කුරුණෑගල, කළුතර එක PCR යන්ත්‍රයක්වත් නෑ. කර්මාන්ත ශාලා ආශ්‍රිතව විශාල අවදානමක් - GMOA

PCR පරීක්ෂණ කඩිනම් කරගැනීම සඳහා රජයේ අවධානය ඉතාම තදින්ම යොමු වියයුතු බවත් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදය නිසා රෝගය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගවලට දැඩි බලපෑමක් ඇති විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
"සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බලප්‍රදේශ 350න් මේ වනවිට 55ක් විතර අධි අවදානම් ප්‍රදේශ විදියට හඳුනාගෙන තියෙනවා.
අධි අවදානම් තත්වය දක්වා ගමන් කළ හැකි තවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 09ක් හඳුනාගෙන තිබෙනවා. කිසිදු රෝගියෙක් වාර්තා නොවුණු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 161ක් තියෙනවා 350න්. පවතින තත්වය අපට තවත් කළමනාකරණය කරගත හැකි මට්ටමේ තියෙන්නෙ.
PCR පරීක්ෂණවල තියෙන ප්‍රමාදය කඩිනමින් නිවැරදි කරගන්න අපි කටයුතු කළේ නැත්නම් තවදුරටත් රට සම්බන්ධයෙන් අපිට ප්‍රමාද වූ ප්‍රතිචාර වලට තමයි යන්න වෙන්නෙ. අනුරාධපුර ප්‍රදේශයෙත් සැලකිය යුතු ප්‍රමාදයක් තියෙනවා, මොකද එක ලැබ් එකයි තියෙන්නෙ.
මෙච්චර රෝගීන් වාර්තා වෙද්දි තාම කෑගල්ල දිස්ත්‍රික්කයේ එක PCR යන්ත්‍රයක්වත් නෑ. කුරුණෑගලට PCR යන්ත්‍රයක් නෑ. කළුතර දිස්ත්‍රික්කයේ මෙච්චර රෝගීන් වාර්තා වෙද්දි ඒ දිස්ත්‍රික්කයට PCR කරන ලැබ් එකක් නෑ. මේවා අපි වැඩිදියුණු කළයුතු අංශ. ගුරුගොඩ ප්‍රදේශයේ තිබිච්ච ප්‍රධාන ඇඟළුම් කර්මාන්ත ශාලාවේ 02 වෙනිදා තව සාම්පල් 500ක් ගත්තා.
03 වෙනිදා තාම අපි දන්නෙ නෑ ඒ 500න් මොකක්ද ලැබිච්ච ප්‍රතිඵලය කියලා. අපි දන්නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ තීන්දු තීරණ ගන්න තව පරක්කු වෙනවායි කියන එක. මේ අයගෙන් අති බහුතරය නේවාසිකාගාර වල ඉඳන් නෙවෙයි ගෙවල්වල ඉඳන් තමයි වැඩට ඇවිත් තියෙන්නෙ.
සමහරු රත්නපුරේ, සමහරු කොළඹ, සමහරු කළුතර. මේක ව්‍යාප්ත වෙලා තියෙන්නෙ. පුළුවන් තරම් PCR කළොත් විතරයි අපට ඒ අයගේ දෙවැනි පෙල, තුන්වැනි පෙල ආශ්‍රිතයෝ හොයාගන්න පුළුවන් වෙන්නෙ. ඒ ගෙවල්වල තව 4 දෙනා ගාණෙ හිටියොත් ඒ අයගේ ආශ්‍රිතයෝ තව 20,000ක් වෙනවා.
කර්මාන්තශාලා ආශ්‍රිතව යම් විශාල පොකුරු ප්‍රමාණයක් නිර්මාණය වීමේ අවදානමක් මතුවෙලා තිබෙනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ කර්මාන්ශ පුර ආශ්‍රිතව කර්මාන්ත ශාලා 23ක මේ වෙනකොට රෝගීන් වාර්තා වෙලා තියෙනවා" යනුවෙනුයි එම සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.
763 Views
Comments