ගුවන්තොටුපළේ පවිත්‍රතා කටයුතු කරන සේවිකාවකට කොරෝනා

කටුනායක ගුවන්තොටුපළේ පවිත්‍රතා කටයුතු සිදුකරන පුද්ගලික ආයතනයක 43 හැවිරිදි සේවිකාවක්ද කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ.
මීට සතියකට පමණ පෙර ඇතිවූ රෝගී තත්වයක් මත ඇය ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණි.
කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි නේවාසික නවාතැන්පලේ රැදී සිටි ඇය දින කිහිපයකට පෙර ඇවරිවත්ත,ශෛලබිම්බාරාම විහාරස්ථානයට ගොස් බෝධි පූජා පැවැත්වූ බව සඳහන්ය.
පසුව ඉකුත් දින කිහිපය පුරා රැකියාවටද ගොස‍් ඇති ඇයට යළිත් රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා නේවාසිකාගාරයේ රැදී සිටි අයෙක් ඒ පිළිබදව පොලිසියට දැනුම් දී තිබුණි.
ඒ අනුව එහි පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇයව ඊයේ උදෑසන මීගමුව මහ රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගත් අතර පසුව සිදුකළ වෛද්‍ය පරික්ෂණ වලින් ඇය කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.
මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් අද පෙරවරුවේ ඇයගේ නවාතැන්පලට පැමිණ එය විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු නිරෝධායනට ලක්වන නිවසක් ලෙසට නම් කරනු ලැබුවේය.
වෛරස් ආසාදිත කාන්තාව භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි වෙළදසැළ පිහිටි නිවසේ පිරිසට සහ ඇය බෝධි පූජා තැබීමට පැමිණි ඇවරිවත්ත,ශෛලබිම්බාරාම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේ ඇතුලු සෙසු පිරිසටද දින 14ක කාලයක් ස්වයං නිරෝධානයට යොමු වන්නැයි නිර්දේශ කර තිබේ.
819 Views
Comments