කෘතිමව සෑදූ අපූරු මිදි වර්ගයක්

කැලිෆෝනියාවේ පදිංචිව සිටින ජැක් පැන්ඩෝල් පාරම්පරිකව මිදි වගා කළ පරපුරකින් පැවත ආ කෙනෙක්. එනිසා ජැක් ද මිදි වගාව පිළිබඳ උනන්දුවක් දක්වන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පැන්ඩෝල්, මිදි වගාව පිළිබඳ වැඩිදුරටත් ඉගෙන ගත්තා.
ඉන් ලබා ගත් දැනුම භාවිත කළ පැන්ඩෝල් 1996 වසරේ දී නව මිදි ප්‍රභේදයක් සොයා ගත්තා. ඒ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කරමින් සිටිය දී ඔහුට ඩේවිඩ් කේන් පලතුරු ජාන විද්‍යාඥයා හඳුනාගන්නට ලැබුණා. ඉන් පසු ඔවුන් දෙපළ එකතු වී සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසින් කොට්න් කැන්ඩි නම් මිදි ප්‍රභේදය කරළියට පැමිණියා. ඒ 2011 වසරේ දීයි.
මෙම මිදි වර්ගයේ ගෙඩි මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වර්ධනය වන ඕවලාකාර හැඩැති ඒවා යි. කොළ පැහැයෙන් යුත් ‘කොට්න් කැන්ඩි’ මිදි ප්‍රභේදය වැඩි පැණිරසකින් යුක්ත යි.
කොට්න් කැන්ඩි මිදි මෘදු ගතියකින් යුක්ත වුණත් හොඳින් හැපෙනසුලුයි. හොඳින් යුෂ තිබෙන මෙම මිදි වර්ගයේ බීජ රහිත නිසා පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය යි. කොට්න් කැන්ඩි මිදි ප්‍රභේදය සතුව තිබෙන මිහිරි රසය නිසාම වෙළඳපොළට හඳුන්වාදී කෙටි කලක් ගත වන විට විශාල ඉල්ලුමක් ඇතිවුණා.
මෙම මිදි වර්ගය ආම්ලික ගතියෙන් අඩු නිසා මෙන්ම මෙහි ඇති වැනිලා රසයට සමාන මිහිරි රසය නිසා විවිධ ආහාර වර්ග සෑදීමේ දී බහුලව භාවිත කරනවා. කොට්න් කැන්ඩි මිදි අමුවෙන් පලතුරු සලාදවලට එකතු කර ආහාරයට ගැනීමට බොහෝ දෙනකු පුරුදුව සිටිනවා.
මෙම මිදි වර්ගයේ උපත ඇමරිකාව තුළ සිදුවුණත් අද වන විට කොට්න් කැන්ඩි මිදි ප්‍රභේදය පේරු, ස්පාඤ්ඤය, ඉතාලිය, චිලී, බ්‍රසීලය, මෙක්සිකෝව, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල්වල ද වගා කරනවා.
515 Views
Comments