ලැජ්ජාව නැති කරොත් කාර් එකක් තෑගි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

ලැජ්ජාව නැති කරොත් කාර් එකක් තෑගි

ලැජ්ජාව නැති කරොත් කාර් එකක් තෑගි

නවමු හොලිවුඩ් චිත්‍රපටයක් වන ‘No Hard Feelings’ කියන්නෙ ආදරය කියන හැඟීමට වයස අදාළම නෑ කියල පෙන්නන අපූරු හොලිවුඩ් චිත්‍රපටයක්.


මෑඩ්ගේ ප්‍රේමයේ උල්පත පෑදුණේ හුදෙක්ම ශෘංගාරයේ වේශයෙන්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මෑඩ් කියන්නේ සරාගී බවෙන් මත් වුණු වයස අවුරුදු 32 ක විතර කටකාර, හැඩකාර, දඟකාර කෙල්ලෙක්. පර්සි කියන්නේ මෑඩ්ට වඩා ගතිගුණවලින් හාත්පසින්ම වෙනස් වයස අවුරුදු 19 ක සල්ලි යහමින් තියෙන කඩවසම් කොලු ගැටයෙක්.


මෑඩ් සහ පර්සිගේ හමුවීම අහම්බයක් වුණාට ඒ දේ සැලසුම් කරන්නේ දෛවයටත් හොරාට සිද්ධ වෙන අපූරු දේකින්.


අතේ සතේ නැති පවුලේ කාත් කවුරුත් නැති මෑඩ්ට තම මවු උරුමයෙන් ලැබුණ ගෙදර සින්න වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මේ නිසා මෑඩ් සතු වෙලා තිබුණ කාර් එකත් අහිමි වෙනවා. මෑඩ්ට දැන් සිද්ධ වෙනවා කොහොමහරි තමන්ගේ මවු උරුමයෙන් ලැබුණ ගෙදර බේරා ගන්න.


මෑඩ් එක්තරා මොහොතක පත්තරේ අපූරු දැන්වීමක් දකිනවා, සල්ලිකාර පවුලක තමන්ගේ එකම පුතාගේ තනියට ඉන්න පෙම්වතියක් අත්‍යවශ්‍යයි කියලා. මේ දේ වෙනුවෙන් කාර් එකකුත් දෙනවා කියලා දැන්වීමේ සටහන් කරලා තියෙනවා.


දෙපාරක් හිතන්නේ නැතිව මෑඩ් මේ මවුපියන් දෙන්නාව හම්බ වෙනවා. ඔන්න ඔහොම තමයි පර්සිව මුණ ගැහෙන්න වැඩ සිද්ධ වෙන්නේ. මෑඩ් හොරෙන්ම වගේ පර්සිට ළං වෙන්න උත්සාහ කරනවා. මෑඩ්ට කාර් එක ලබාගන්න පර්සිට සෑහෙන්න වද දෙනවා. වද දෙනවා කියන්නේ ඉතින්, සෙක්ස් කරන්න පොලඹවගන්න, පර්සිගේ ලැජ්ජාව නැති කරගන්න වගේ දේවල්.


මේ දෙන්නගේ අදහස් අහසයි පොළවයි වගේ වුණාට, අන්තිමට මේ දෙන්නට සිද්ධ වෙන්නේ නොහිතපු දෙයක්. පර්සිගේ සහ මෑඩ්ගේ ජීවිතවලට අවසානයේ කුමක් සිදු වේවිද?


පසුගිය ජුනි 23 දින සිට සෝනි පික්චර්ස් සමාගම හරහා බෙදාහැරීම සිදු කළ ‘No Hard Feelings’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘Gene Stupnitsky’ කියන නවමු අධ්‍යක්ෂවරයා විසින්. මෑඩ් බේකර් චරිතය වෙනුවෙන් විශිෂ්ට රංගනයක නිරත වෙන්නේ හොලිවුඩයේ දැනට සිටින සරාගීතම සහ දක්ෂතම සම්මානනීය නිළියක වන ජෙනිෆර් ලෝරන්ස් විසින්.

views

410 Views

Comments

arrow-up