පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිළිබඳව ඔබ දැනුවත්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිළිබඳව ඔබ දැනුවත්ද?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිළිබඳව ඔබ දැනුවත්ද?

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටු වන ලදී. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු කිහිපයක් පවතී.

 

පාරිභෝගිකයන් ගේ ජීවිත හා දේපළ වලට උපද්‍රවයක් සිදු වන භාණ්ඩ අලවි කිරීමට හා සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම, අසාධාරණ වෙළෙඳ පිළිවෙත් වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් වලට නිසි අවධානය දැක්වීමට සහතික වීම, හැකි සෑම විටම පාරිභෝගිකයන්ට තරගකාරී මිලට භාණ්ඩ හා සේවා වලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීමට සහතික වීම, අසාධාරණ වෙළෙඳ පිළිවෙත් සීමිත වෙළඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදුකරන වෙනත් යම් ආකාරයක පාරිභෝගික හැසිරීම් වලට එරෙහිව සහනයක් ලබාදීම එම අරමුණුය.

 

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන බලතල කීපයක් පවතී. ව්‍යවසායන් අතර සීමාකාරී ගිවිසුම් පාලනය කිරීම, ව්‍යවසායන් අතර මිල පිළිබඳ වැඩපිළිවෙලවල් ඇතිකිරීම, වෙළඳපල ඇතුළත හෝ වෙළෙඳ පොළේ සැලකිය යුතු කොටසක දේශීය වෙළදාම හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳ වූ පාලන තත්ත්වයක් අනිසි ලෙස යොදා ගැනීම ඉවත් කිරීම, දේශීය හෝ ජාත්‍යන්තර වෙළඳාමට හෝ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන තරඟකාරීත්වය පිළිබඳ යම් අවහිරයක් පාලනය කිරීම, තරඟ විරෝධී චර්යා හා ආධිපත්‍ය තත්ත්වයක් අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශනය හෝ පරීක්ෂණ කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරී ඇත.

 

මෙහිදී තරඟ විරෝධී චර්යාවක් යනු යම් තැනැත්තෙකු ස්වකීය ව්‍යාපාර ක්‍රියාවලියේදී ගමනය කරන ශ්‍රී ලංකාව තුළ යම් භාණ්ඩ හෝ සේවාවක් සම්බන්ධයෙන් තරග කිරීම වැළැක්වීමේ ප්‍රතිඵලය ගෙනදීමට ඉඩඇති ක්‍රියා කලාපයකි. තව ද භාණ්ඩ හා සේවා සපයන තැනැත්තන් අතර ඵලදායි තරගකාරීත්වය පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීම, භාණ්ඩ හා සේවාවල මිල ඒවායේ සුලභත්වය හා ඒවායේ තත්ත්වය සහ සපයන වර්ගය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ මිලදී ගන්නන්ගේ සහ භාණ්ඩ හා සේවා භාවිතා කරන අයගේ අයිතිවාසිකම් හා සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, මිලදී ගැනීමට තබා ඇති භාණ්ඩ සහ සේවා වල තත්ත්වය ප්‍රමාණය ශක්තිය පිරිසිදුකම ප්‍රමිතිය සහ මිල පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම, පනතේ නිශ්චිතවම සඳහන් කර ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම, නිෂ්පාදකයන්ට හා වෙළෙන්දන් ට මිල සළකුණු කිරීම ලේබල් කිරීම සහ භාණ්ඩ ඇසුරුම් කිරීම සම්බන්ධව නියෝග නිකුත් කිරීම, වෙළඳපොළ තරඟකාරීත්වය අඩු ඵලදායිතාවයෙන් පවතින අවස්ථාවලදී වෙළඳපොලේ තරඟකාරී මිල ප්‍රවර්ධනය කිරීම යනාදිය සඳහා ද සම්පූර්ණ බලතල පවතින්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටයි.

 

 

එමෙන්ම වෙළෙඳපොළ තත්ත්ව සහ පාරිභෝගික කටයුතුවලට අදාළව අධ්‍යන බාරගැනීම වාර්තා පළ කිරීම සහ මහජනතාවට තොරතුරු සැපයීම, භාණ්ඩ හා සේවා බෙදා හැරීම පිළිබඳ අධ්‍යයන බාරගැනීම, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව පිළිබඳ අධ්‍යයන බාරගැනීම යනාදිය ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතු බලතල කිහිපයකි. මීට අමතරව පාරිභෝගිකයන්ගේ මනා සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පාරිභෝගික අධ්යාපනය ප්රවර්ධනය කිරීම, වෙළෙඳපොළ තත්ත්වය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ තොරතුරු වෙනත් ආයතන සමඟ හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීම, අධිකාරිය විසින් ලබාදෙනු ලබන යම් සේවාවක් සම්බන්ධයෙන් ගාස්තු අය කිරීම, පනත උල්ලංඝනය කරන යම් තැනැත්තෙකුට ලිඛිත අවවාද නිකුත් කිරීම, අධිකාරියේ කර්තව්‍යයන් ඉටු කිරීමට පහසුකම් සැලසීම පිණිස යම් කමිටුවක් පත් කිරීම, භාණ්ඩ දක්වා ඇති ප්‍රමිතීන්ට සහ පිරිවිතරයන්ට අනුකූලව නොවන බව විශ්වාස කිරීමට අධිකාරියට හේතු ඇති විට භාණ්ඩවල නියැදි ලබා ගැනීම යනාදී බලතලද මෙම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතුයි.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවා ඇත්තේ පාරිභෝගිකයාගේ සුභසිද්ධිය සඳහා වෙයි. මෙවැනි නීතිමය තත්ත්වයන් වන්නට විවිධ ආකාරයේ විෂමාචාරයන්ට පාරිභෝගිකයාට මුහුණදීමට සිදුවනු ඇත. මෙවැනි ආයතන නිසාවෙන් නිරන්තරයෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා වනු ඇත.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1708 Views

Comments

arrow-up