ඇණවුම වරද්දන අමුතු අවන්හල
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

ඇණවුම වරද්දන අමුතු අවන්හල

ඇණවුම වරද්දන අමුතු අවන්හල

යම්කිසි අයකු ඇණවුම් කරන දේ වෙනුවට තමන්ට ලැබෙන්නේ වෙනත් දෙයක් බව දැන දැන ම යම්කිසි ස්ථානයකට, අවන්හලකට යාම කොතරම් අමුතු සිදුවීමක් ද? එවැනි අවන්හලක් ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටා තිබේ. එම අවන්හලේ සේවය කරන සියලු ම සේවක සේවිකාවන් අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන අය වේ.


මෙම අවන්හලේ සේවක සේවිකාවන්ට යමක් මතකයේ තබාගත හැකි වන්නේ ඉතාමත් සුළු කාලයක් බැවින් ඔවුන්ට පාරිභෝගිකයන් ඇණවුම් කරන ආහාරපාන ඉක්මනින් අමතක වේ. එම නිසා ඇණවුම් කරන දේ වෙනුවට ඔවුන් පාරිභෝගිකයන්ට පිළිගන්වන්නේ ඔවුන්ගේ මතකයේ ඇති වෙනත් දෙයක් වන අතර මෙම අපූරු අත්දැකීම විඳගැනීම සඳහා ම විශාල පිරිසක් මෙම අවන්හලට යති.


‘ඇණවුම් වැරදීමේ අවන්හල’ එනම් ‘The Restaurant of Order Mistakes’ නම් වන මෙම අපූරු අවන්හල ජපන් රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වන ශයිරෝ ඔගුනි ගේ සංකල්පයක්. මෙම අවන්හල ආරම්භ කිරීම මඟින් ඔහු බලාපොරොත්තු වන්නේ ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් පිළිබඳ සමාජගත වී ඇති වැරදි මත දුරු කර එය සාමාන්‍ය තත්ත්වයක් බව ජනතාවට අවබෝධ කර දීමට යි.


තාවකාලික අවන්හලක් වන මෙය මුල්වරට විවෘත කලේ 2017 වසරේ ජූනි මාසයේ දී ය. ඉන් අනතුරුව එම වසරේ ම සැප්තැම්බර් මස 16 දින සිට දින තුනක කාලයක් එය විවෘත ව තැබිණි. ඊට පසුව ද වරින් වර විවෘත කළ මෙම අවන්හල විවෘත කරන නිශ්චිත කාලසීමාවක් නැත.


මෙම අවන්හල පිළිබඳව අදහස් දක්වමින් ඔගුනි සම්මුඛ සාකච්ඡාවක් අතරතුර පවසා ඇත්තේ මුලින් ඩිමෙන්ශියා තත්ත්වය පිළිබඳ ව වැඩි යමක් දැන නොසිටි තමන් ඒ පිළිබඳ ව අධ්‍යයනය කිරීමට පෙලඹුණු බව ය. තමන් සිදු කළ අධ්‍යයන අතරතුර ‘ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන අය ඇසුරු කිරීම අනතුරුදායක ය’ යන්න සමාජගත වී ඇති මතය සත්‍යයක් නොවන බව අවබෝධ වූ බවත් ඔහු සඳහන් කර තිබේ.


ඒ අනුව ඒ පිළිබඳ ව තමන් උගත් දෑ අන්‍යයන්ට ද ලබා දීමේ අරමුණින් මෙම අවන්හල ආරම්භ කළ බව ඔහු පැවසුවේ ය. අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන් ද එහි සේවකයන් (ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන අය) ඉතාමත් විනෝදකාමී සහ ආදරණීය පුද්ගලයන් ලෙස හඳුන්වන බවත් ඔගුනි පවසා තිබේ.


මෙම අවන්හල ආරම්භ කිරීමෙන් තමන් බලාපොරොත්තු වූයේ හුදෙක් ම ඩිමෙන්ශියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් පිළිබඳ ව සමාජගත වී ඇති මත දුරු කිරීමේ අරමුණින් ම පමණක් නොවන බව ඔහු සඳහන් කර තිබේ. ඔහු පැවසුවේ මෙම ව්‍යාපෘතිය මගින් කොතරම් කාරුණික ආකාරයෙන් අන්‍යයන්ට සැලකීමට අවස්ථාවන් තිබේ ද යන්න ජනතාවට අවබෝධ කර දීමට තමන් බලාපොරොත්තු වූ බව ය.

views

316 Views

Comments

arrow-up