ටයිටැනික් බලන්න ගිය ටයිටන්ට මොකද්ද වුණේ?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ටයිටැනික් බලන්න ගිය ටයිටන්ට මොකද්ද වුණේ?

ටයිටැනික් බලන්න ගිය ටයිටන්ට මොකද්ද වුණේ?

Ocean Gate කියන්නේ සාගර ගවේෂණ සඳහා පහසුකම් සපයන පුද්ගලික ආයතනයක්. ඔවුන් නිර්මාණය කරපු Titan කියන කුඩා සබ්මැරීනය මේ වෙද්දි පුද්ගලයන් 5 දෙනෙකු සමග ගොඩබිම සමග කිසිදු සබඳතාවයක් නොමැතිව ගැඹුරු මුහුදේ අතුරුදන් වෙලා තියෙනවා.



ඔවුන් 1912 දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගිය කණ්ඩායමක්. උතුරු අත්ලාන්තික් සාගරයේ Newfoundland වෙරළේ ඉඳන් සැතපුම් 400ක් විතර දුරින් අඩි 13,000 ක පමණ ගැඹුරු මුහුදේ තමයි මේ වෙද්දි සුප්‍රකට ටයිටැනික් නෞකාව තියෙන්නේ. ඒ කියන්නේ මුහුදේ කිලෝමීටර 4 ක් විතර ගැඹුරින්.



ටයිටන් සබ්මැරීනය ප්‍රමාණයෙන් අඩි 22 ක් විතර දිග Vessel එකක්. ඒකෙ නියමුවත් එක්ක උපරිම පුද්ගලයින් 5 ක් විතරක් වරකට රැගෙන යන්න පුළුවන්. පැයට කිලෝමීටර් 5.6 ක උපරිම වේගයක් තියෙනවා.



ඝනකම් කාබන් ෆයිබර් වලින් තමයි සබ්මැරීනයේ පිටත ආවරණය හදලා තියෙන්නේ. දෙපැත්තේ අර්ධ ගෝලාකාර කොටස් විතරක් ටයිටේනියම් වලින් හදලා තියෙනවා. මීටර 4,000 ක් ජලය යටදී එන තෙරපුමට ඔරොත්තු දෙන්න මේ බිත්ති වලට පුළුවන්.



සෝනාර් සහ රේඩාර් සංවේදක තියෙන නිසා අඳුරේ උනත් බාධක මග හැරගන්න පුළුවන්. එළියේ කැමරා සවිකරලා තියෙනවා සහ ගැඹුරු මුහුද වුණත් හොඳින් ආලෝකමත් වෙන විදියේ විදුලි පහන් තියෙනවා. සංචාරකයින්ට පිටත නරඹන්න අඩියක විෂ්කම්භයක් සහිත ඝනකම් වෘත්තාකාර වීදුරුවකුත් සපයලා තියෙනවා.



මේ ටයිටන් සබ්මැරීනයෙන් ටයිටැනික් නරඹන්න යනවා නම් එක්කෙනෙක් ගෙන් $250,000 ක් අය කරනවා. Ocean Gate සමාගම නම් කියන්නේ ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් එක ගමනකට වැය වෙනවා කියලයි.



කොහොම වුණත් ඒ ගෙවීමට අමතරව ගිවිසුමකට අත්සන් තියන්නත් ඕන. ඒ ගිවිසුමේ පළමු පිටුවේ තැන් 3 කම "මරණය" වචනය සඳහන් වෙනවා කියලයි කියන්නේ. මුදලත් ගෙවලා ගිවිසුමත් අත්සන් කරාම නැවකින් ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ අදාළ ප්‍රාදේශයට රැගෙන යනවා.



එතනින් සබ්මැරීනයට ගොඩවෙන්නයි තියෙන්නේ. මගීන් 5 දෙනාම ගොඩවුණාට පස්සේ නැවේ ඉන්න කාර්ය මණ්ඩලය සබ්මැරීනය වහලා පිටතින් බෝල්ට් ඇණ යොදනවා. ඒ කියන්නේ ඇතුළත ඉන්න අයට චාරිකාව නිමා කරලා මුහුද මතුපිටට ඇවිත් පිටත කාර්ය මණ්ඩලය දොරටුව විවෘත කරනකන් පිටතට එන්න බැහැ.



දොරටු සීල් කරාම ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණවත් වෙන්නේ පුද්ගලයින් 5 දෙනාට පැය 96 කට විතරයි. අකරතැබ්බයකට මුහුණ පාන්න වුණොත් මුහුද මතුපිට තියෙන නෞකාවට පණිවිඩ යවන්න පුළුවන්. පණිවිඩ හුවමාරුව සිදුකෙරෙන්නෙ සෝනාර් සංඥා වලිනුයි.



ඊට අමතරව සබ්මැරීනයේ පිටත බිත්ති වලට සුළු හෝ හානියක් සිදු වුණොත් ඒ පිළිබඳව සංවේදක මගින් නෞකාව දැනුවත් කෙරෙනවා. එතකොට ස්වයංක්‍රීයව සබ්මැරීනය මුහුද මතුපිටට එන විදිහටයි හදලා තියෙන්නේ.



පසුගිය 18 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5.30 ට විතර ටයිටැනික් නෞකාව නැරඹීමට පුද්ගලයින් 5 දෙනෙකු සමග දියත් කෙරුණු ටයිටන් සබ්මැරීනය දියත් කිරීමෙන් පැයකුත් විනාඩි 45 කට පස්සේ ඉඳන් මේ වෙද්දිත් කිසිදු සංඥාවක් නිකුත් කරලා නැහැ.



සංවේදක මගින්වත් සබ්මැරීනය තිබෙන ස්ථානය හොයාගන්න Ocean Gate මෙහෙයුම් කරුවන්ට බැරි වෙලා තියෙනවා. ඔවුන් එයින් පැය 6 කට පස්සේ කැනේඩියානු වෙරළ ආරක්ෂක බළකාය ඇතුළු බලධාරීන් දැනුවත් කරන්න පියවර ගත්තා.



ඔවුන් සහ ඇමරිකානු නාවික හමුදාව සමග රාජ්‍ය නොවන සංවිධාන කීපයක්ම මේ වෙද්දි සෙවුම් කටයුතු ආරම්භ කරලා තිබෙනවා. මුහුද මතුපිට වර්ග සැතපුම් 10,000 කට වැඩි වපසරියක සෙවීමේ මෙහෙයුම් දැනට ක්‍රියාත්මක කරලා ඉවරයි.


දැනට රොබෝ යන්ත්‍රයක් ගවේෂණයට යොදවලා තියෙනවාලු. එයිනුත් මේ දක්වා සුබදායී තොරතුරක් ලැබිලා නැහැ. නමුත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් Boeing P-8 Poseidon (දැනට ලොව ඇති ඉහළම තාක්ෂණයෙන් හෙබි මුහුදු මුර සංචාරක ගුවන් යානය) මගින් මිනිත්තු 30 කට වරක් නිකුත් වූ සංඥා කීපයක් හඳුනාගෙන තියෙනවා. මේවා බොහෝ විට සබ්මැරීනය ඇතුළත සිට එහි බිත්තියට පහර දෙන ශබ්ද සංඥාවක් වෙන්න පුළුවන් කියලා සැක කරනවා. ඔක්සිජන් ඉතිරි කරගන්න මේ වගේ සැරෙන් සැරේ සංඥා නිකුත් කරනවා වෙන්න පුළුවන් කියලයි මුදවාගැනීමේ කණ්ඩායම් කියන්නේ.



සංඥාව අනුව නම් සබ්මැරීනය මේ වෙද්දි ටයිටැනික් රැඳී තිබෙන මුහුදු පතුලේම නැවතිලා තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ අඩි 13,000 ක මුහුදු පතුලේ.



හිරවෙලා ඉන්න 5 දෙනා වෙන්නේ Ocean Gate එකේ ප්‍රධාන විධායක නිලධාරියා Stockton Rush, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන Hamish Harding, ප්‍රංශ කිමිදුම් ශිල්පී Henry Nargeolet, පාකිස්තාන ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා Suleman යන අය.

views

525 Views

Comments

arrow-up