ත්‍රාසය, භීතිය, කෘතුහලය රැගත් ෆොරෙන්සික් (Forensic) - VIDEO
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

ත්‍රාසය, භීතිය, කෘතුහලය රැගත් ෆොරෙන්සික් (Forensic) - VIDEO

ත්‍රාසය, භීතිය, කෘතුහලය  රැගත් ෆොරෙන්සික් (Forensic) - VIDEO

අභිරහස් ලෙස සිදුකරන මිනීමැරුම්, අපරාධ පිළිබඳව සැකසුණු චිත්‍රපටි බලන්න කැමති අයට තමයි මේ ලිපිය. ෆොරෙන්සික් (Forensic) ගිය වසරේ (2020) ඉන්දියානු මලයාලම් භාෂාවෙන් සැකසුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අයත් වන්නේ මිස්ට්‍රි,(Mistry) ත්‍රිලර් (Thriller) සහ ක්‍රයිම් (Crime) කැටගරි වලට.

 

ඉතාමත් සූක්ෂම ලෙස මිනීමැරුම් සිදුකරමින් පොලිසියෙන් සැගව සිටින අපරාධකරුවෙකු සොයායන කතාවක් තමයි මෙහි අන්තර්ගත වන්නේ. වයස අවුරුදු 10 -12 අතර දැරියන් දෙදෙනෙක් අභිරහස් ලෙස ඝාතනය වීමත් සමග එම අපරාධ පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට ඒසිපී රිතිකා සේවියර්ට පැවරෙනවා. ඇගේ සහයට පත්කෙරෙන්නේ විරසකව දෙපසට වී සිටින ඇයගේ සැමියාගේ බාල සහෝදරයා වන සැමුවල් ජෝන් කට්ටූකාරන්. ඒ පිලිබඳව එතරම් පැහැදීමක් ඇයට නොතිබුණත් ඔහුගේ සහය ලබාගැනීමට ඇයට සිදුවෙනවා. ඒ අතරතුර රිතිකා විසින් සැමුවෙල් ගැන විපරම් කිරීමට ශිකා නම් තරුණියක් පත්කරනවා. රිතිකා සහ සැමුවෙල් අතර තිබූ පෞද්ගලික ප්‍රශ්නය නිසා සැමුවෙල් ඉදිරිපත් කරන නිරීක්ෂණ පිළිගන්න රිතිකා කැමති වන්නේ නැහැ. තවත් ළමා මරණ කිහිපයක් සිදුවීමත් සමඟ කුරිරු ඝාතකයා සොයා යන මෙහෙයුම විශ්‍රාමලත් පොලිස් නිලධාරියෙක් වන අබ්දුල් වහබ් සහ ශිකා සමඟ එක්වී සැමුවෙල් තනිවම දියත් කරනවා. පසුව ඔවුන්ගේ සහයට මනෝවෛද්‍ය අල්පොන්සූ කූරියන් සහ ජයකුමාර් මෙනොන් එක්වෙනවා. සැමුවෙල්ගේ තීක්ෂණ බුද්ධිය, අපරාධ විසදීමට හැකි හැකියාව සහ ශිකාගෙන් ලැබෙන නොමද සහය නිසා අවසානයේ ඔවුන් අතරම සිටි ඝාතකයාව හසුකරගැනීමට සැමුවෙල් සමත් වෙනවා.

 

 

විනාඩි 134ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය අකිල් පෝල් සහ අනාස් ඛාන්ගේ සම අධ්‍යක්ෂණයක්. ඒ වගේම එය ඔවුන් දෙදෙනාගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වනවා. මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ නවිස් සේවියර් සහ සිජූ මැතිව් විසින්. ටොවිනෝ තෝමස් අධිකරණ වෛද්‍ය උපදේශක සැමුවෙල් ජෝන් ලෙසත් මම්තා මොහන්දාස් ඒස්පි රිතිකා සේවියර් ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඔවුන්ට අමතරව රෙබෙකා මොනිකා ජෝන්, රෙන්ජී පනිකර්, ධනේශ් ආනන්ද් සහ සයිජු කුරුප් සහය චරිත වලට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

 

ෆොරෙන්සික් චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු 2020 පෙබරවාරි 28 වනදා ආරම්භ කරනවා. නොවිසඳුණු තැන් කිහිපයක් මෙහි තිබුණත් චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයන්ගේ කෘතුහලය රදවා තබාගැනීමට "ෆොරෙන්සික්" සමත් වෙනවා. අපරාධකරුවා කවුරුන් වේදැයි අනුමාන කරමින් මෙවැනි චිත්‍රපට නැරඹීමට කැමති අයට "ෆොරෙන්සික්" ඒ සදහා කදිම චිත්‍රපටයක් බව පැවසිය යුතුමයි.

 

 

 

 

 

 

 

 

 

 

by Nimanthi Muthukudaarachchi

Photo source : Internet

views

842 Views

Comments

arrow-up