කන්‍යාවියන් ඉල්ලූ බහිරවයාගේ කන්ද
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

කන්‍යාවියන් ඉල්ලූ බහිරවයාගේ කන්ද

කන්‍යාවියන් ඉල්ලූ බහිරවයාගේ කන්ද

මහනුවර සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයින් ගේ නෙත ගැටෙන සුවිශේෂී තැනක් ලෙස බහිරව කන්ද හඳුන්වා දිය හැකිය. එය අඩි 650 ක් පමණ උසින් යුත් සුන්දර කඳු ගැටයකි. මෙම කඳු මුදුනේ ඉදිකර තිබෙන සමාධි බුදු පිළිමය උසින් අඩි 88 ක් පමණය. මෙම බහිරව කන්ද සංචාරය කරන ඔබට ඉතා වැදගත් කතා පුවත් බොහොමයකි. ජනප්‍රවාදයේ රසවත් කතා මෙම කන්ද පිළිබඳව පවතී.



මහනුවර රාජධානිය ආරම්භ වන්නේ පළමුවන විමලධර්මසූරිය රජුගෙන් වන අතර සෙනරත් රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ රාජාධිරාජසිංහ ආදි රජවරු මෙහි රාජ්‍යත්වය හොබවා ඇත. බහිරව කන්ද පිළිබඳව එන ජනප්‍රවාද කුමන රජ සමයේ සිට පැවැත එන්නේද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් සඳහන්ව නැත.



මෙම ජනප්‍රවාද තුළ ප්‍රධාන වශයෙන්ම සඳහන් වන්නේ බිලි පූජා පිළිබඳවය. ඒවා සිදුකළේ කලින් කල ඇති වූ දුර්භික්ෂ, ජල ගැලීම්, නියං සාගත දුරුකර ජනතාවට නිරෝගිමත් හා සෞභාග්‍ය ඇති කිරීම සඳහාය.


මෙහිදී සඳහන් වන එක් ජනප්‍රවාදයකට අනුව එකල සිටි කුමන හෝ රජවරයෙක් තම පුරෝහිතයා කැඳවා මේ ඇති වී තිබෙන තත්ත්වයට පිළියම් සොයන ලෙස පවසා ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙයට හේතුව බහිරව යක්ෂයා කෝපවීම බවයි.



ඒ සඳහා යක්ෂයා සතුටු කළ යුතු බවත් ඒ සඳහා රජ බල ප්‍රදේශයේ සිටින සුන්දරතම කුළුදුල් කන්‍යාවිය සොයාගෙන ඇය දින 07 ක් දිවා රාත්‍රී කිරිපැණි සඳුන්වලින් නහවා පසුව මරා දැමිය යුතු බවයි.


ඒ අනුව එම තරුණිය මෙම කඳු මුදුනට රැගෙන ගොස් ගසක බැඳ තනිකර පැමිණි ඇති බවත් පසුව මෙම කන්ද බහිර කන්ද වූ බවත් සඳහන්ය.


මෙම බිලි පූජාව වසර ගණනාවක් පුරා පැවැති අතර එක් රජ සමයක වැලිකල නමින් යුත් කන්‍යාවියක් තෝරාගෙන ඇත. ඇය දුනුවිල නිලමේ නම් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත.


මෙම තරුණිය තෝරාගෙන ඇත්තේ තරුණයා යම් කිසි කරුණක් නිසා රජ වාසලෙන් නෙරපා සිටි නිසාය. තරුණිය රාත්‍රියේ ගෙනගොස් ගසක බැඳ පැමිණ ඇත. තරුණයා හොර රහසේ කඳු මුදුනට පැමිණ සැඟවී ඇත. මධ්‍යම රාත්‍රියේ යක්ෂයා හඬ නගමින් තරුණිය ඉදිරියට පැමිණ ඇත. සැඟවී සිටි දුනුවිල නිලමේ ඉදිරියට පැන යක්ෂයා මරා දමා තිබේ.


රජවාසලට ගොස් මේ බව සැල කළ පසු රජතුමා පැමිණ බැලූවිට මැරී ඇත්තේ තම පුරෝහිතයා බව හඳුනාගෙන තිබේ. ඉන්පසු මෙම බිලි පූජාව රජු විසින් තහනම් කර ඇත.


පුරෝහිතයා වසරක් පාසා කන්‍යාවියක් දූෂණය කර මරා දමා ඇත. අද කොළඹ වීදිය ලෙස හඳුන්වන්නේ එදා කන්‍යාවිය පෙරහරින් කඳු මුදුනට ගෙන ගිය මාවත ය.

views

272 Views

Comments

arrow-up