"මේ දවස්වල මම විතරක් නොවෙයි අපි හැමෝම කුණු අදිනවා" - සමන් කෝරලගේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

"මේ දවස්වල මම විතරක් නොවෙයි අපි හැමෝම කුණු අදිනවා" - සමන් කෝරලගේ

"මේ දවස්වල මම විතරක් නොවෙයි අපි හැමෝම කුණු අදිනවා" - සමන් කෝරලගේ

සමන් කෝරලගේ. මෙහෙම කියනවට වඩා ඔබ ඔහුව දන්නේ මේ විදියට බව මට විශ්වාසයි. අඳුන් ගිර - කාක්කා, පාර දිගේ - සිකුරා, මෙට්‍රො හීනෙ - සමන්ත, පොදු - ලේකම්, තුන්පනේ - විමලෙ අයියා.නිකම්ම නොවෙයි, ‘කුණු විමලෙ අයියා…’

 

මේ දවස්වල හොඳට කුණු අදිනවද?

 

මේ දවස්වල මම විතරක් නොවෙයි අපි හැමෝම කුණු අදිනවා.

 

මොන වගේ කුණුද අදින්නේ?

 

ඕන කුණක් ඇදලා තියෙනවා. දැන් තියෙන තත්ත්වයත් එක්ක. ඉතින් අපි ට්‍රැක්ටරයකට බැහැලා බැලුවා රටේ තියෙන කුණු ටික ඇදලා ඉවර කරගන්න. ඒත් අපට දරන්න බැරි තරම් කුණු අදින්නයි වෙලා තියෙන්නේ.

 

සමන්ට ඒ වගේ ජොබ් තමයි හැම නාට්‍යයකම සෙට් වෙන්නේ…?

 

මම ආසයි චරිතාංග නළුවකු විදියට මේක ඇතුළේ පෙනී සිටින්න. ඒ වගේම වෙනස් වෙනස් චරිත කරන්න. පහළ පන්තිය නියෝජනය වන චරිතයි මට බොහොමයක් ලැබුණේ. හැබැයි වෙනස් වෙනස් හැඩතල. ඒ නිසා මම ආසයි ඒකට වෙන හැඩයක් දෙන්න.

 

කුණු විමලෙ කියන්නේ හොඳ අත්දැකීමක්ද?

 

නළුවකු වුණාම ඕන මඟුලක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ හොඳ අත්දැකීම් ටිකක් එකතු වෙනවා කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් එහෙම මම අතහරින මිනිහෙක් නෙවෙයි. මම ආසයි නැවත නැවත ඒ චරිත කරන්න. හොඳ එක්ස්පීරියන්ස් එකකුත් ඕන ඒවා කරන්න. ඉතින් මම ඒ ටික අරගෙන ඒ චරිත කළා. මම එහෙම මහන්සි වෙලා වැඩ කරන්න ආසයි.

 

තවම විකාශනය වෙලා තියෙන්නේ බොහොම පුංචි ප්‍රමාණයක්?

 

මේක ඇතුළේ වැඩ කරන්න හොඳ කට්ටියක් හමු වුණා. අධ්‍යක්ෂ සුපුන් රත්නායක, කැමරාව චින්තක සෝමකීර්ති, නිෂ්පාදනය සඳුන් දොලමුල්ල. ඒ අයට අමතරව ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් මෙහි ඉන්නවා. ඩබ්ලිව්. ජයසිරිගේ ඉඳලා පහළ පරම්පරාව වෙනතුරුම. හැමෝම හොඳ සහයෝගයෙන් මේ වැඩේ කරගෙන ගියා. කුණු අදින කතන්දරය ඇතුළේ මමයි, රන්දික ගුණතිලක හා මධුර ප්‍රභාෂ්වරයි කුණු ට්‍රැක්ටරයේ වැඩ කරන්නේ. කුණු ඇතුළේ ජීවත් වෙලා උත්සාහ කරන්නේ අනෙක් අයගේ ජීවිත සුවඳවත් කරන්න. අනෙක් අයගේ කුණු අස් කරලා, අපි උත්සාහ කරනවා ඒවා අයින් කරන්න. ඒත් ඒක බැරි වෙනවා. ඒ වුණාට අනෙක් අයගේ ජීවිත සුවඳ කරන්න අපි කුණු අදිනවා.

 

කුණු අදින කොට බාල්දි පෙරළිලා එහෙම නැද්ද?

 

පෙරළිලා තියෙනවා. කොවිඩ් කාලෙයි අපි මේක ෂූට් කරන්න පටන් ගත්තේ. ඒ කාලයේ ඉතින් බොහොම පරිස්සමට පුළුවන් විදියට කළා. ඒ කියන්නේ ඇත්තම කුණු තමයි පාවිච්චි කළේ. කුණු අරන් යන ට්‍රැක්ටර් තමයි පාවිච්චි කළේ. ඒවායේ කුණු ලෝඩ් පිටින් තිබ්බා.

 

ඇත්තටම ඔබ ඇතුළු පිරිසට ගෙවල්වලින් කුණු දුන්නද?

 

කුණු දුන්නා. කුණු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ තමයි අපේ ලොකේෂන් එක වුණේ. එතැනදි ඇත්තටම අපි කුණු එකතු කළා. අස් කළා.

 

කුණු ගඳයි…

 

මූලිකව ගත්තම ඒ දුර්ගන්ධය තියෙනවා. පස්සේ අපිත් ඒකට හුරු වෙලා. දන්නෙත් නැහැ. අපිත් ඔහේ ඉන්නවා. මුළු දවසක්ම ඒකත් එක්ක කාලය ගත කරනවා. නළුවකු වුණාම ඒ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පවුඩර් දාගෙන කුණු අදින්න අපහසුයි. ඒ හින්දා අපි උත්සාහ කළේ ඒ වගේ චරිතයකට බරක් දෙන්න. ඒ වගේ චරිතයක් ජීවත් කරවන්න පුළුවන්ද කියන අත්දැකීම ගන්න අපි උත්සාහ කළා.

 

ඒ වගේම මිනී කපන්නත් ඔබ දක්ෂයි වගේ?

 

ඒක ඇත්තටම වෙනම අත්දැකීමක්. මමත් ඒකට කැමැතියි.

 

මෙට්‍රො හීන නැරඹුවට පස්සෙද එහෙම කතා කළේ?

 

ඔව්. ඒ ටෙලි නාට්‍යය නැරඹුවට පස්සේ තමයි ඔවුන් කතා කළේ. මිනියක් කපන එක බලාගෙන සිටීම හැමෝටම ජීවිතේ හොඳ අත්දැකීමක්. ජීවිතේ සෑහෙන්න දේවල් ගැන පොඩි ටයිම් එකක් ඇතුළේ තේරුම් ගන්න පුළුවන්. අපිත් ඒ මල්ශාලාව ඇතුළේ සෑහෙන කාලයක් ගත කළා. ඇත්ත මොකක්ද? අපි මොකටද ජීවත් වෙන්නේ කියන දේවල් ටික මේක ඇතුළෙදි අපට අවබෝධ කරගන්න පුළුවන්. මිනී කපනවා කියන්නේ වෙනමම කලාවක්. මට හොඳ අත්දැකීමක් ලැබුණා. මිනී එම්බාම් කරන එක ගැන එහෙම. මම කලින් ඉඳලාම ඒ වගේ අත්දැකීම් අරගෙන තියෙනවා. ඒ වගේ අත්දැකීම් එක්කයි ඒ ටෙලි නාට්‍යයේ සමන්ත කියන චරිතය ගොඩනැගුණේ.

 

දැන් මිනී කපන්න යන්නද හිතාගෙන ඉන්නේ?

 

මම ඒ වැඩේට යන්න කැමැතියි. ඕන වෙලාවක එන්න මහත්තයෝ කියලා තමයි ඔවුන් මට කිව්වේ. මමත් එන්නම් කියලා තමයි ඔවුන්ට කිව්වේ. තවම ඒකට යන්න බැරි වුණා. ඒත් මම දවසක යනවා. මම ඒකට කැමැතියි.

 

ඔවුන් හිතලා තියෙන්නේ ඔබ එවන් කාර්යයක යෙදෙන කෙනෙක් කියලද?

 

මම කිසිම දේකට බය මිනිහෙක් නොවෙයි. මට කියන ඕනම චරිතයක් කරන්න පුළුවන්. නළුවකු විදියට ඒ වගේ චරිත කරන්න බැහැ; මට අප්පිරියයි; ඒ වගේ දේවල් මගේ ළඟ නැහැ. ඒ නිසා මට අදාළ චරිතය හොඳට කරනවා. ඒ දේවල් මම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මේ නිසා මම චරිතය කරන විදිය හා ලොකේෂන් එකේ ගනුදෙනු කරන විදිය ගැන මා කෙරෙහි විශ්වාසයක් ඔවුන්ට ඇතිවෙන්න ඇති කියලා හිතනවා. ඒ නිසයි ඔවුන් මට එන්න කියන්න ඇත්තේ.

 

කොත්මලෙන් කොළොම්පුරවරයට එන ඔබගේ රැකියාව ගුරු වෘත්තිය?

 

මම උගන්වන්නේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ. ඒත් බාහිර සමාජයක් එක්ක වෙනම විදියේ වැඩවලට මම කැමැතියි. හේතුව අපට වුවමනා මේ පවතින ක්‍රමය වෙනස් වෙලා වෙනම ඉන්ඩ්‍රස්ට්‍රි එකක් හැදෙන්න. අපේ තරුණයෝ ගොඩක් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මහන්සි වෙලා වැඩ කරනවා.

 

මොන වගේ කටයුතුද ඒ වෙනුවෙන් කරන්නේ?

 

මම ළමයි එක්ක වෙනම වැඩ කොටසක් පාසලේ කරගෙන යනවා. ළමයිගේ ජීවිත හදන්න මම බොහොම ආසයි. ඒ අයගේ ජීවිත ගැන කතා කරන්න, ඔවුන් ඒක විඳිනවාද නැද්ද? ජීවිතේ කොහෙටද ගෙනියන්නේ? කියන කාරණාවලදි නාට්‍යකරණය පාවිච්චි කරලා කොහොමද ළමයි හදන්නේ කියන එකට මම පොඩ්ඩක් වැඩ කරනවා. ඒ කියන්නේ කලාව ළමයිගේ ජීවිත ගොඩනගන්න පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණයට. මූලිකම දේ මම ළමයින් එක්ක කතා කරනවා. ඒ වගේම ඔවුන් එක්ක වැඩි වෙලාවක් ගත කරනවා. ඔවුන් එක්ක වර්ක්ෂොප් කරනවා. ඔවුන්ට ඇහුම්කන් දෙන්න උත්සාහ කරනවා. මූලික ප්‍රශ්නය අපි ළමයින්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. අපිට ඇහුම්කන් දෙන්න ඒ අය හදාගන්නවා ඇරෙන්න අපි ඒ අයට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒක මේ රටේ තියන ප්‍රශ්නයක්.

 

ඔබට ලැබිලා තියෙන්නේ විවිධ වර්ගයේ චරිත?

 

ඒකට මම කැමැතියි. විවිධ විවිධ වර්ගයේ චරිත එක්ක ජීවත් වෙන්න මම ආසයි. ඒක අපේ ජීවිතයටත් මාර වැදගත්. අපි වේදිකාවත් එක්ක හැමවෙලාවෙම ගොඩනැගුණ මිනිස්සුනේ. ඒ නිසා වෙනස්ම දේවල් කරන්න අපි ආසයි. අලුත් දේවල් ටිකක් එකතු කරගන්න, අලුත් රසයක් මිනිසුන්ට ගෙනියන්න ආසයි. කාක්කා වගේ චරිතයක් ගොඩනගන්න ඉන්දික ධර්මවර්ධන හොඳ සහයෝගයක් දුන්නා. කාක්කා කියන දඩයක්කාරයා ඇතුළේ ඉන්නවා ගැහැනියට ආදරය කරන ආදරණීය චරිතයක්. මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් දඩයක්කාරයෙක්. වෙනස්ම හැඩයේ චරිතයක්. පොදු එකේ ලේකම්ගේ චරිතයත් එහෙමයි. බොහොම සූක්ෂ්ම චරිතයක්. මේ හැම චරිතයක්ම එක දිගටම කරනවා නොවෙයි. මේ දවස්වල කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ නිර්මාණ එක දිගට විකාශය වෙන්න පටන් ගත්තා.

 

ඔබගේ පවුලේ තොරතුරු ටිකක් කියමු…

 

මගේ පවුලේ ඉන්නේ මමයි අපේ සහෝදරියෝ තුන්දෙනයි. මම විවාහකයි. බිරිය යෙහෙළි සඳශිනී. මේ දවස්වල අපි බලාගෙන ඉන්නේ අපේ පවුලට අවුරුදු කුමාරයකු එනකම්.

 

ඒ කියන්නේ අලුත් පරපුරේ දක්ෂ නළුවකු වන සමන් කෝරලගේ මේ ඉන්නේ ඉදිරි කාලයේ පිය පදවිය ලබන්න බලාගෙන. සමන්, ඔබට සුබපැතුම්…

 

 

Aruna Pinipalasa - Thilani Shanika Vithanachchi

views

1753 Views

Comments

arrow-up