ඉලෙක්ට්‍රොනික තාක්ෂණය SMD හා PTH උපාංග
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ඉලෙක්ට්‍රොනික තාක්ෂණය SMD හා PTH උපාංග

ඉලෙක්ට්‍රොනික තාක්ෂණය SMD හා PTH උපාංග

මෙම ලිපිය තුළින් අප ඔබට ඉලෙක්ට්‍රොනික උපාංගයන් නිශ්පාදනය කරනු ලබන ප්‍රධාන ක්‍රම 02 ක් පිළිබඳව සරලව පැහැදිලි කර දෙනවා. SMD හා PTH උපාංගයි. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයෙහි මූලික දැනුම ඔබට ලබා දෙන මෙම ලිපි ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි යැයි අප විශ්වාස කරනවා.

 

මොනවද මේ PTH කියලා කියන්නේ ? මෙය pin through hole යන වචනයෙහි කෙටි යෙදුමකි. මින් අදහස් වනුයේ සිදුරක් සහිතව යෙදිය හැකි වූ පරිදි අග්‍ර සමන්විත වූ උපාංගයන් යන්නයි. තවත් සරලවම පැහැදිලි කරහොත් ඔබ විවිධ වූ ඉලෙක්ට්‍රොනික උපාංගයන් දිගු අග්‍ර ( pin ) සහිතව නිශ්පාදනය කර ඇති බව දැක ඇති. මෙන්න මේ ආකාරයේ දිගු අග්‍ර සහිත වූ ඉලෙක්ට්‍රොනික උපාංගයන් අප PTH ලෙස හදුන්වනවා.

 

මෙම උපාංගයන් ආශ්‍රිත වූ තාක්ෂණය " THT " හෙවත් Through Hole Technology ලෙස හදුන්වනවා. මෙය තරමක් පැරණි වූ තාක්ෂණයක් වුවද අදටත් මෙම ක්‍රමය භාවිතා කරනවා. මෙම PTH උපාංගයන්හි දිගු අග්‍රයන් හෙවත් pin එක් පැත්තකින් පරිපථ පුවරුවලට ඇතුල් කරන අතර පෑස්සීම සිදු වන්නේ අනෙක් පැත්තෙනි. එබැවින් උපාංගයන් පරිපථ පුවරුවන්ට සම්බන්ධ කිරීමට නම් පුවරුවෙහි සිදුරු ඇති කළ යුතුයි. ඉන් හරහා මෙම PTH උපාංග අග්‍රයන් ඇතුළත් කළ යුතු වන නිසාම මෙයට Through hole යන්නෙන් හදුන්වයි.

 

 

මෙවැනි උපාංගයක් පුවරුවට සවි කිරීමට අප බවුතය හෙවත් ( Soldering iron ) නැමැති උපකරණය භාවිතා කරනවා. මෙමගින් එම උපාංග ඉතාමත් පහසුවෙන් පුවරුවට සවි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. SMD උපකරණ හෙවත් Surface Mount Device ලෙස අප හදුන්වන්නේ මතුපිටින් සවිකළ හැකි උපාංගයන්ය. ඔබ motherboard වැනි සංකීර්ණ විද්‍යුත් පරිපථ තුළ ඉතාමත් කුඩා උපාංගයන් සවිකර තිබෙනවා අනිවාර්යයෙන්ම දැක ඇති. එවැනි උපාංගයන් SMD හෙවත් Surface Mount Technology ලෙස හදුන්වනවා මෙය නව තාක්ෂණික ක්‍රමයක්. PTH ලෙසින් දිගු අග්‍ර නැති මෙම උපාංගය සවි වන්නේ " pad " නම් වූ සන්නායක plate කොටසකිනි. එනිසා මෙවැනි ආකාරයේ උපාංග සවි කිරීමට පරිපථ පුවරුව සිදුරු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

 

එසේ නම් මෙය සවි කරන්නේ කෙසේද ?

 

උපාංගය සවි කරන්නේ එක් පැත්තකින් වන අතරම පෑස්සීම සිදු කරන්නෙද එම පැත්තෙන්මයි. එනිසා පරිපථ සකස් කිරීමේදී දෙපැත්තේම මෙවැනි උපාංගයන් භාවිතා කළ හැකි වන අතරම, ප්‍රමාණයෙන් කුඩා නිසා විශාල ඉඩකඩ අවශ්‍ය නොවෙයි. නමුත් PTH ආකාරයෙන් පවතින්නාවූ ට්‍රාන්සිස්‍ටර් වර්ග, කැපැසිටර් වර්ග, රෙසිස්ටර් වර්ග වැනි ඉලෙක්ට්‍රොනික උපාංගයන්ම SMD අයුරින්ද නිශ්පාදනය වන බවත් ඔබ මතක තබාගත යුතුයි.

 

මෙවැනි SMD උපකරණ අප පරිපථ පුවරුවට සම්බන්ධ කරන්නේ බවුතය මගින් නොවෙයි. ඒ සඳහා විශේෂ උපකරණයක් වන Hot air gun එක භාවිතා කරනවා. හොට් ගන් කියලා කියන්නෙත් මෙම උපකරණයයි. මෙහිදී බවුතය මෙන් රත්වන bit එකක් නැති අතර ඒ වෙනුවට රත් වූ වායුවක් නිකුත් කරන නොසලයකින් සමන්විත වනවා. එමගින් SMD උපාංගයන් පුවරුවලට සම්බන්ධ කිරීම පහසු වනවා.

 

SMD හා PTH යන උපාංගයන්ගේ වෙනස්කම්

  •  PTH උපාංග සාමාන්‍ය ප්‍රමාණයකින් විශාලත්වයක් ගන්නා අතර SMD උපාංගයන් ඊට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වනවා.
  •  PTH උපාංගයන් හි අග්‍ර පරිපථයේ එක් පසෙකින් ඇතුල් කිරීමත් අනෙක් පසින් පෑස්සීම සිදු කළද SMD උපකරණයන් වලදී සවි කිරීම හා පෑස්සීම දෙකම සිදු කරන්නේ එකම පැත්තක පමණයි.
  •  PTH උපාංගයෙහි කූරු හෙවත් pin ඇති අතර SMD වල ඇත්තේ pad නම් සන්නායක තැටියකි.
  •  PTH උපාංග වල විශාල විද්‍යුත් ධාරිතාවක් හැසිරවිය හැකි නමුත් SMD උපාංග වල ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් හැසිරවීම සිදු වෙයි. එනිසා වැඩි ධාරිතාවන් සඳහා PTH භාවිතා කෙරේ.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1934 Views

Comments

arrow-up