විනය කඩකළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට දඬුවම් නියමවෙයි

පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් හට ක්‍රිකට් තහනමක් සහ දඩ නියම කිරීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිර්දේශ කර තිබේ.
එම ක්‍රීඩකයින් තිදෙනා අද(29) එම පරීක්ෂණ කමිටුව ඉදිරියට කැඳවීය.
එහිදී නිරෝෂන් දික්වැල්ලට එරෙහිව මාස 18ක ක්‍රිකට් තහනමක්ද ගුණතිලක සහ මෙන්ඩිස්ට එරෙහිව මාස 24ක ක්‍රිකට් තහනමක්ද පනවන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
එයට අමතරව එක අයෙකුට ඩොලර් 25,000ක දඩයක්ද නියම කළ යුතු බව නිර්දේශවල සඳහන් වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේදී ආරක්ෂිත ජෛව බුබුල ක්‍රමවේදය උල්ලංඝණය කරමින් ඉකුත් ජුනි 27 වනදා රාත්‍රියේ ඔවුන් ”ඩරම්” ප්‍රදේශයේදී සමාජගතවී සිටි බවට චෝදනා එල්ල විය.
ඒ සම්බන්ධ වීඩියෝ සාක්ෂියක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.
චෝදනා එල්ලවූ එම ක්‍රීඩකයින් සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය ජූලි 07 වනදා පත් කෙරිණි.
998 Views
Comments