කුවේට් සිට පැමිණි කත ත්‍රිරෝදයෙන් ගෙදර යද්දී රිය අනතුරින් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

කුවේට් සිට පැමිණි කත ත්‍රිරෝදයෙන් ගෙදර යද්දී රිය අනතුරින් ජීවිතක්‍ෂයට

කුවේට් සිට පැමිණි කත ත්‍රිරෝදයෙන් ගෙදර යද්දී රිය අනතුරින් ජීවිතක්‍ෂයට

පැල්මඩුල්ලේ දී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් අසාධ්‍ය තත්ත්වයේ සිටි 27 හැවිරිදි කාන්තාවක් රත්නපුර ශික්ෂණ රෝහලේ දී පෙරේදා (29) පස්වරුවේ මියගොස් ඇතැයි පැල්මඩුල්ල පොලිසිය පවසයි.

 

ඇය කුවේට් රාජ්‍යයේ රැකියාවක් කර ලංකාවට ඊයේ අලුයම පැමිණ තිබේ. බදුල්ල පස්සර පදිංචි ඇය නිවෙසට රැගෙන යෑමට කුලී ත්‍රිරෝද රථයකින් ඇයගේ සැමියා සහ නෑදෑයකු ගුවන් තොටුපොළට ගොස් තිබේ.

 

අවුරුදු තුනක් රැකියාව කර මෙරටට පැමිණි කාන්තාව නිවෙස බලා යමින් සිටිය දී පැල්මඩුල්ලේ දී ඇය ගමන් ගත් ත්‍රිරෝද රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ඇඹිලිපිටිය – කොළඹ පුද්ගලික බස් රථයේ ගැටී තිබේ.

 

ත්‍රිරෝද රථය බසය දෙසට ධාවනය වෙද්දී අනතුර වැළක්වීමට ගත් උත්සාහයේ දී බසය මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබුණි. ඒ වන විටත් ත්‍රිරෝද රථය බසයේ දකුණු පැත්තේ ගැටී ඇතැයි පොලිසිය පවසයි .

 

පෞද්ගලික බස් රථයේ සිටි මගීන් 60 දෙනකු ගෙන් 24 දෙනකු ද ත්‍රිරෝද රථයේ සිටි තිදෙනකු ද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාලකරුවන්ගෙන් 16 දෙනකු පමණක් ඊයේ සවස වන විට තවදුරටත් රත්නපුර සහ කහවත්ත රෝහල් දෙකේ ප්‍රතිකාර ලබමින් සිටි බව පොලිසිය පවසයි.

 

මියගිය කාන්තාවගේ සැමියා ද බරපතළ තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තවත් එක් අයෙක් ද එහි ප්‍රතිකාර ලබයි. මියගොස් ඇත්තේ සීදරන් නගුලේශ්වරි නම් 27 හැවිරිදි තැනැත්තියකි.

views

253 Views

Comments

arrow-up