ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ලංකාවට අනතුරු ඇගවීම්

ශ්‍රී ලංකාව දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මගකට පිවිසී සිටින බව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට් පවසනවා.
ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ඇය සඳහන් කළේ පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ක්‍රියාත්මකවීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි.
එමෙන්ම,
රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම,
බහුතරයේ ජාතිකවාදී ආකල්ප මතු කිරීම
සහ සිවිල් සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීම
වැනි අනතුරුදායක ප්‍රවණතාවන් පසුගිය වසර තුළ දක්නට ලැබුණු බවද ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ප්‍රකාශයට පත් කෙරුණු ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන්.
සන්නද්ධ යුද්ධය අවසන් වී වසර 12 ක් ගත වූවද, දෙපාර්ශවයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට රජය අසමත් වී ඇති අතර, එවැනි පරීක්ෂණ හා නඩු විභාගවලට බලපෑම් කිරීමටද පෙළඹී සිටිනවා.
එමඟින් පසුගිය වසර කිහිපය තුළ අත්කරගත් සුළු ප්‍රගතිය හෝ ආපසු හැරවීමට කටයුතු කර ඇති බවටයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කළේ.
ජනාධිපතිවරයා විසින් හිටපු යුද සහ බුද්ධි අංශ ප්‍රධානීන් 28 දෙනෙකු පරිපාලන තනතුරු සඳහා පත්කර ඇති බව පවසන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය එහිදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පිළිබඳවද සිහිපත් කර තිබෙනවා.
ඔවුන් ජගත් සංවිධාන මානව හිමිකම් වාර්තා මගින් යුද්ධයේ අවසන් වසරේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් ලෙසයි ඇය හැඳින්වූයේ.
නව රජය මගින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කිරීමට කටයුතු කර ඇති අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර ආපසු හැරවීමට කටයුතු කර ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කරනවා.
එමඟින් මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ අධිකරණ කොමිසම ආදී ප්‍රධාන කොමිෂන් සභාවල මෙන්ම අනෙකුත් ආයතනවල ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති බවයි ඇය සඳහන් කළේ.
එමෙන්ම, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අදාළ කොමිෂන්වලට සාමාජිකයින් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයා වෙත කේන්ද්‍ර ගත කිරීම ඒවායේ විශ්වසනීයත්වයට සහ ස්වාධීනත්වයට බලපෑමක් ලෙස ඇය හැඳින්වූවා.
යුද්ධය අවසන් වී වසර 12 කට පසුවද දේශීය යාන්ත්‍රණයන් තුළින් ප්‍රතිඵලදායක වගවීමක් හෝ සංහිඳියාවක් ගොඩනැගීමට රජය අසමත් වී ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව සමාප්ත කරමින් ප්‍රකාශ කළා.
අතීතය ප්‍රතික්ෂේප කිරීම, සත්‍ය සෙවීමට බාධා පැමිණවීම වර්තමානයට මෙන්ම අනාගතයටද බලපාන කරුණක් ලෙසයි ඇය හැඳින්වූයේ.
2030 තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ සියල්ලටම මානව හිමිකම් සුරක්ෂිත කිරීමට බහුවිධ පරිපූර්ණ දර්ශනයකින් යුත් ශ්‍රී ලංකාවක් උදෙසා ක්‍රියාකාරීව කටයුතු කරන ලෙස ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.
එමෙන්ම, ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මුතීන් මගින් නිර්දේශ කර ඇති ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙසත්, සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන පිළිබඳ අධීක්ෂණ අවසන් කරන ලෙසත් ඇය ඉල්ලා සිටිනවා.
සියලු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කොට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීමද ඇයගේ නිර්දේශයක්.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා ලබා සිටින පුද්ගලයින් රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරුවලින් ඉවත් කරන ලෙසත්, මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව මගින් නිර්දේශ කරනවා.
810 Views
Comments