පාසල ආරම්භ කිරීමට උපදෙස් මාලාවක්

ඉදිරි දිනකදී පාසල් නැවත විවෘත කළද පවතින සෞඛ්‍ය අවධානම හේතුවෙන් පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.
සියලූ දරු දැරියන් ආහාර නිවසින් රැගෙන ඒම සුදුසු වන බවයි උපදෙස් මාලාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අග හිගකම් ඇති දරු දැරියන් සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෙන් ආහාර සපයා දීමට කටයුතු කළයුතු බවද දිවා ආහාර වැඩසටහන කි‍්‍රයාත්මක කෙරුණු පාසල්වල දරු දැරියන්ට නැවත එය ආරම්භ කරන තුරු වියළි ආහාර ලබාදිය හැක බවද එහි සඳහන්.
ආහාර හෝ පාන වර්ග හුවමාරු කර ගැනීමට දරු දැරියන්ට අවස්ථාව ලබා නොදිය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දුන් උපදෙස්වල දැක්වෙනවා.
ජල කරාමයෙන් කෙලින්ම ජලය පානය කිරීමෙන් මුඛය ජල කරාමයේ ස්පර්ශ වන බැවින් ජල බෝතලයක් නිවසින් රැගෙන ඒමටද දරු දැරියන් උනන්දු කළ යුතු බව එහි සඳහන්.
දැරු දැරියන් අතර පෙළපොත්, සටහන් පොත් සහ පාසල් උපකරණ හුවමාරුවද නව කොරෝනා වෛරසය පාලනය කරන තෙක් නතර කළයුතු බව මෙමගින් යෝජනා කර තිබෙනවා.
මෙම සියලූ උපදෙස් සඳහා පාසල්වල කාර්යය මණ්ඩලයද අනුගත විය යුතු බවයි උපදෙස් මාලාවේ සඳහන් වන්නේ.
කෙසේවෙතත් පාසල් නැවත විවෘත කරන දිනය තවම තීරණය කර නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) රැස්වූ කොවිඞ්-19 මර්ධනය සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකාය ද මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. පාසල් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දරු දැරියන් තවදුරටත් දැනුවත් කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.
1071 Views
Comments