ඩඩ්ලි සිරිසේනගෙන් ‘ අභියෝගයක් – ඇමති බන්දුල රටින් හාල් ගෙන්වන්න හදයි

කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඇතිව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
රට තුළ කෘතිම ආහාර හිඟයක් ඇති නොවන පරිදි හා මිල වැඩිවීමක් නොවන පරිදි පාරිභෝගිකයින් වෙත සහල් ලබාදීමට හැකිවන පරිදි රජය වෙත ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගැනීම මෙහි අරමුණ බව ද ඇමතිවරයා සඳහන් කළේ. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ අද (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
වී තොග රැස්කරගෙන සිටින සහල් මෝල් හිමියන් එම සහල් තොග වෙළඳපලට නිකුත් කරන්නේ නම් සහල් පිටරටින් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත්, කෘතිම හිඟයක් මවා පා පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමට ඉඩ දිය නොහැකි බැවින් මෙසේ සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව කී ඇමතිවරයා සහල් හිඟයක් මවා පාමින් සහල් මිල වැඩිකිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවද කියා සිටියා.
ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන කියා සිටියේ කොතැනක හෝ ලංකාවේ සගවා ඇතැයි කියන සහල් හෝ වී තොග පෙන්වන්නැයි අභියෝග කරන බවයි. ඇමැති බන්දුල ගුණවර්ධනගේ ද ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඩඩ්ලි සිරිසේන කියා සිටියේ සංඛ්‍යා ලේඛන වල ඇති නිෂ්පාදනය මෙරට තුළ නැති බවයි.
මෙරට වැඩිම වී තොග ඇත්තේ තමාට සතුව වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙළඳ අමාත්‍යාංශය පවසන සංඛ්‍යාලේඛන මත කිසිසේත්ම මෙරට තුල වී අස්වැන්නක් නොමැති බවද ඔහු කියා සිටියා.
896 Views
Comments