යහපාලනය ගෙනා කොටි 44 බොයිලේරුවක් දිගින් දිගට අක්‍රියයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

යහපාලනය ගෙනා කොටි 44 බොයිලේරුවක් දිගින් දිගට අක්‍රියයි

යහපාලනය ගෙනා කොටි 44 බොයිලේරුවක් දිගින් දිගට අක්‍රියයි

රුපියල් කෝටි හතළිස් හතරක් ගෙවා සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගත් බොයිලේරුවක් දිගින් දිගටම අක්‍රිය වීමෙන් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි අනාවරණය වේ. ඊයේ (24 වැනිදා) වන විටත් මෙම බොයිලේරුව අක්‍රියව පැවැතුණ බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

ඉතාලියේ රූත්ස් ඉතාලි නම් සමාගමකින් පසුගිය රජය සමයේ මෙම බොයිලේරුව ඇණවුම් කර ඇත්තේ 2016 දෙසැම්බර් 23 වැනිදාය. මෙම ගනුදෙනුවේ අවසන් ගෙවීම කර ඇත්තේ පසුගිය වසරේදීය. යුරෝ විසිහත්ලක්ෂ පනස් දහසක් ගෙවා මෙම බොයිලේරුව මිලදී ගැනීම සඳහා හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු තෙල් සංස්ථා බලධාරීන් ඉතාලි සංචාරයකද නිරතව තිබේ.

තෙල් පිරිපහදුවේ විදුලි උත්පාදනය කිරීමට හා නළ ඔස්සේ තෙල් වාෂ්පීකරණය සඳහා බොයිලේරු හතරක් යොදා ගෙන ඇත. ඉන් තුනක්ම අබලන් තත්ත්වයේ වූ නිසා පසුගිය රජය සමයේ මෙම බොයිලේරුව මිලදී ගැනීමට පියවර ගෙන ඇත.

එහෙත් දැනට මාස කිහිපයක පටන් අලුතින් ගත් බොයිලේරුව සතියකට වරක් අක්‍රිය වීමට පටන් ගෙන ඇතැයි සේවකයෝ පෙන්වා දෙති. පිරිපහදු ක්‍රියාවලියේදී තෙල් නළවල පීඩනය වැඩි කළ සැණින් අලුත් බොයිලේරුවේ නළ පුපුරා යන බව එම සේවකයෝ කියති. ඉතාලි බොයිලෝරුවක් වුවද මෙහි අභ්‍යන්තර කොටස් බාල තත්ත්වයේ පවතින බව නඩත්තු කාර්මිකයන් පෙන්වා දී ඇත.

ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වුවමනාවට ගෙන ආ මෙම බොයිලේරුව වසර දහයක්වත් ක්‍රියාත්මක කළ යුතු වුවත්, ඊට වගකීම් කාලයක් හෝ ලබාදී නොමැති බවත් නිලධාරීහු පෙන්වා දෙති. මෙම බොයිලේරුව නිෂ්පාදනය කළ ඉතාලි සමාගමට අලුත්වැඩියාව සඳහා අවශ්‍ය අමතර කොටස් එවන්නැයි දැනුම් දී ඇති බවත්, දැනට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අලුත්වැඩියාවන් කරගෙන යන බව පැවසීය.

 

views

849 Views

Comments

arrow-up