පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගැනීමට ඔබ වැන්නන් පාර්ලිමේන්තුවට පැමිණීමද හේතුවකි - මංගලගෙන් ෆොන්සේකාට උත්තරයක්

මංගල සමරවීර මහතා මැතිවරණ සටනින් ඉවත් වීම සමගි ජන බලවේගයට වෙස්වලාගෙන පැමිණ ආශිර්වාදයක් යැයි සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා පිළිතුරක් ලබා දී තිබේ.
සමරවීර මහතා පවසන්නේ යුද පිටියේ සිටිය යුතු සරත් ෆොන්සේකා වැනි පුද්ගලයන් නොදන්නා දේශපාලනයක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට කැඳවීම ද තමන්ට දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් වූ බවයි.
2015 මහ මැතිවරණයේදී අන්ත පරාජයට පත් වූ පක්ෂ නායකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හරහා පාර්ලිමේන්තුවට පත් කළේ එජාප නායක නායක රනිල් වික්‍රමසිංහ මහතා බව සිහිපත් කරන සමරවීර මහතා පෙන්වා දෙන්නේ අද ෆොන්සේකා මහතා වේදිකා ගානේ ගරහමින් යන්නේ එම නායකයාට බවයි.
හිතවත් සරත්,
ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි. ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%) ක්ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ක්ද ලබා අන්ත පරාජයට පත් වූයේද මාගේ දේශපාලන භාවිතාව නිසාදැයි දැන ගැනීමට කැමැත්තෙමි.
අනෙක පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147 කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසාදැයි නොදනිමි.
වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේද සටහන් කරමි. මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂයද ජයග්‍රහණය කරවා ඇත.
නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි. අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙසද ඉල්ලා සිටිමි.
ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීමද එක් කරුණක් බව සිහිපත් කරමි.
780 Views
Comments