ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය කෝටි 10,502ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය කෝටි 10,502ක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලාභය  කෝටි 10,502ක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී ගණනය කරන ලද මුළු අලාභය රුපියල් කෝටි 10,502 ක් බව අනාවරණය වී තිබෙනවා.

 

ඒ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) තෙවැනි වාර්තාවේ සදහන්ව ඇති තොරතුරු වලින්.

 

ඉකුත් වසරේදී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි 50 ක අලාභයක්ද, සී/ස ඇල්කඩුව වැවිලි සමාගම රුපියල් තුන් කෝටියක අලාභයක්ද , පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය රුපියල් 2,187,367 ක්ද, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය රුපියල් 3,567,328 ක්ද වශයෙන් පාඩු ලබා ඇති බව කෝප් කමිටු වාර්තාව සඳහන් කරයි.

 

මෙම අලාභයන් අනාවරණය කරගෙන ඇත්තේ, ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත ස්ස්ථාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම ඇතුළු ආයතන 23ක ගිණුම් විගණනය කරමින් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන වාර්තා පදනම් කරගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදු කරන ලද අධීක්ෂණ මගින්.

 

ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල අපේක්ෂිත මූල්‍ය වාර්තා මේ වනතෙක් ඉදිරිපත් කොට නොමැත.

 

2019 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටුවේ දෙවැනි වාර්තාවෙන් ඉදිරිපත් කළ ආයතන පිළිබඳ අමාත්‍යාංශ නිරීක්ෂණ සති 08 ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවද, මේ වනතෙක් එම ආයතන 08 න් 05 ක් සිය නිරීක්ෂණ ඉදිරිපත් කොට නොමැති බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා.

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කෙරෙන ආයතනවල අක්‍රමිකතා ඇසින් දුටු සාක්ෂි ලෙස පදනම් කරගනිමින් නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹීමේ හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කළා.

views

610 Views

Comments

arrow-up