“ශීතකරණයේ දොරත් ඇරලා, වැටිලා හිටියෙ දොර ලඟ” - මාස 6 කට පෙර මියගිය නිවසකින් හමුවූ කාන්තා සිරුර ගැන ඇහෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

“ශීතකරණයේ දොරත් ඇරලා, වැටිලා හිටියෙ දොර ලඟ” - මාස 6 කට පෙර මියගිය නිවසකින් හමුවූ කාන්තා සිරුර ගැන ඇහෙන කතාව

“ශීතකරණයේ දොරත් ඇරලා, වැටිලා හිටියෙ දොර ලඟ” - මාස 6 කට පෙර මියගිය නිවසකින් හමුවූ කාන්තා සිරුර ගැන ඇහෙන කතාව

කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවක අභිරහස් ලෙස මාස ගණනාවක් තිස්සේ මිය ගොස් සිට මෑතකදී සිරුර හමුවී ඇත. ඇගේ සිරුර බරපතල ලෙස දිරාපත්වීමට ලක්ව තිබීම නිසා මෘත ශරීරය හමුවූ දිනට මාස හයකට පමණ පෙර සිදුවී ඇති මරණයක් බවට පොලිසිය සැක පළ කරයි.

 


පී.එච්. කුසුමාවතී නමැති අවුරුදු 64ක් වයසැති මෙම කාන්තාව දෙදරු මවක් වන අතර, ඇගේ පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින බව තහවුරු වී ඇත.

 


දෙවන විවාහය 2000 වසරේදී සිදු කර ගෙන ඇති අතර, එතැන් පටන් මෙම නිවසේ පදිංචිව සිට ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

 


කැස්බෑව පොලිසිය විසින් ලබා දුන් තොරතුරු අනුව, මෙම අඹු සැමි දෙදෙනා අතර යම් මතභේදයක් හේතුවෙන් 2011 වර්ෂයේදී කැස්බෑව අධිකරණයේ වෙන්වීම සඳහා නඩුවක් පවරා ඇති අතර, එම නඩුව තවමත් විභාග වෙමින් පවතින බව වාර්තා වේ.

 


පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මියගිය කාන්තාවගේ සැමියා නිවසට යාබදව පාස්සුම් වැඩ කරමින් ජීවිකාව ගෙන ගොස් ඇති බවයි. එමෙන්ම, මියගිය කුසුමාවතී මහත්මිය නිවසේ තනිවම ජීවත් වෙමින් විවිධ ස්ථානවල වැඩ කරමින් ආදායම් උපයා ගෙන ඇති බවට සැමියා පොලිසියට ප්‍රකාශ කර ඇත.

 


සිදුවීම වාර්තා වූ ආකාරය අනුව, ගත වූ 28දා කාන්තාවගේ සැමියා නිවසේ මුළුතැන්ගෙයි දොර කඩා විදුලි පංකාවක් ලබා ගැනීමට යාමේදී, මියගිය කාන්තාව මුළුතැන්ගෙයි බිම වැටී සිටිනු දැක ඇත. මෙම සොයා ගැනීමෙන් පසු සැමියා වහාම පොලිසියට දැනුම් දී ඇත.

 


පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මළ සිරුර දැඩි ලෙස දිරාපත්වීමට ලක්ව තිබෙන බවයි. මේ හේතුවෙන් මාස හයකට පමණ පෙර සිදුවූ මරණයක් බවට සැක කරන අතර,

 


මෘතදේහය හමුවූ ස්ථානයේ ශීතකරණයේ දොරද විවෘතව තිබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 


දැනට පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණවල ප්‍රධාන අරමුණ වන්නේ, මෙම කාන්තාව විදුලි සැර වැදීමකින් මිය ගියාද, නැතහොත් වෙනත් යම් හේතුවක් මත මරණය සිදු වූවාද යන්න තහවුරු කර ගැනීමයි.

 


සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමටද නියමිත අතර, කැස්බෑව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී. මරණයේ සත්‍ය හේතුව සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් ද නියම වී ඇති අතර විශේෂඥ වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.

 


කාන්තාවගේ මරණය පිළිබඳව අසල්වාසීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති අතර, සමහරුන් පවසන්නේ මෑත කාලයේ කාන්තාව දැක නොමැති බවත්, ඇය සමාජයේ සාමාන්‍යයෙන් හුදකලා ජීවිතයක් ගත කළ බවත්ය.

 

මෙම සිද්ධිය තවදුරටත් පොලිසිය විසින් සවිස්තරාත්මකව පරීක්ෂා කරමින් සිටින අතර, අවසන් වෛද්‍ය වාර්තා ලැබීමෙන් අනතුරුව පමණක් නිශ්චිත නිගමනයකට එළඹිය හැකි බව පොලිසිය ප්‍රකාශ කරයි.

views

155 Views

Comments

arrow-up