“මං ඒ තීරණය බය නැතුව ගත්තේ අඩු වයසින් කැම්පස් යන්න ඕනි නිසයි..”‍ - උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවෙන්ම රෙකෝඩ් එකක් තැබූ රනුලි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

“මං ඒ තීරණය බය නැතුව ගත්තේ අඩු වයසින් කැම්පස් යන්න ඕනි නිසයි..”‍ - උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවෙන්ම රෙකෝඩ් එකක් තැබූ රනුලි

“මං ඒ තීරණය බය නැතුව ගත්තේ අඩු වයසින් කැම්පස් යන්න ඕනි නිසයි..”‍ - උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවෙන්ම රෙකෝඩ් එකක් තැබූ රනුලි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය උඩු යටිකුරු කරමින් එක් දැරියක් එකම වසර තුළ දී සාමාන්‍ය පෙළ විභාගයට සහ උසස් පෙළ විභාගයට යන දෙකටම මුහුණ දී ඉහළ සාමාර්ථ සමඟින් සමත් වී තිබෙනවා.

 


රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන නම් ඇය, කොළඹ විශාඛා විද්‍යාලයෙන් 2024 මැයි 6 වන දින පැවති 2023 (2024) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නාය.

 

එහිදී ඇය A සාමාර්ථ 8ක් සහ එක් B සාමාර්ථයක් ලබාගත් අතර එම B සාමාර්ථය ලැබී තිබුණේ ඉංග්‍රීසි සාහිත්‍යය විශයටයි.


 

ඉන් පසුව, 2024 නොවැම්බර් 25 දින භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී A සාමාර්ථ 3ක් සමඟින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ඇය ලබා ගත්තාය.


 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයට අනුව උසස් පෙළ විභාගයට මුහුණ දීමට තරම් වයසට ඇය පැමිණ නොතිබූ නිසා, පෞද්ගලික අංශයෙන් විභාගයට මුහුණ දී මෙම ජයග්‍රහණය ලබාගැනීම ද විශේෂත්වයකි.


 

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් රනුලි මෙසේ පවසනවා...

"මම පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා තමයි කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළු වුණේ. සාමාන්‍ය පෙළ ‘ඒ අටක්’ සහ ‘බී ‘එකක් ගත්තා. මම හරි නම් උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඕනේ 2026 වසරේ. ගණිත විෂයට සහ විද්‍යා විෂයට මම ඉතාමත් තදින් ප්‍රිය කරමින් ඒ විෂයන් හොඳින් හදාරපු නිසා මට විශ්වාසයක් තිබුණා මෙවර උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා විශිෂ්ට ලෙස සමත් වෙන්න පුළුවන් කියලා.නීතිමය හැටියට පාසල් අයදුම්කරුවකු ලෙස අඩු වයසෙන් පෙනී ඉන්න බැරි නිසා තමයි මම පාසලෙන් අස්වෙලා පෞද්ගලිකව අයදුම් කළේ. විශාඛා විද්‍යාලයෙන් අයින් වෙනවා කියන තීරණය ගත්තෙ ඉතාම දුක්බරව. නමුත් අඩු වයසින් කැම්පස් යන්න ඕනි හින්දා මං ඒ තීරණය බය නැතුව ගත්තා. මේ ජයග්‍රහණයේදී මගේ පියා සහ මව යෝධ සෙවණැල්ලක් මෙන් සහය දුන්නා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාල මහාචාර්යවරියක් වීම තමයි මගේ ඉලක්කය"


 

රනුලිගේ පියා වන ප්‍රවීණ සංයුක්ත ගණිතය දේශක සඳුන් වානගුරු මහතා සිය දියණියගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වනවා.


 

''ලෝකෙ දියුණු රටවල නම් උසස් පෙළ හදාරලා අවුරුදු විසි එක වෙනකොට උපාධිධාරියෙක් වෙන්න පුළුවන්.නමුත් ලංකාවේ උපාධිය හදාරලා ඉවර වෙනකොට අවුරුදු විසි හයක් විතර වෙනවා. එතකොට උපාධිය ඉවර වෙලා රැකියා වෙළඳපොළට ඇවිත් විවාහයක් වෙනකොට ජීවිතය හොඳ කාලය ගිහින් ඉවරයි. ඒ නිසා මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. සිසුන්ට තමන්ගේ හැකියාව අනුව කැමති විෂය ධාරාවන් තෝරාගෙන අඩු වයසින් උපාධිධාරියෙකු වීමේ අවස්ථාව ලබා දෙන ක්‍රමයක් ලංකාවේ ඇති විය යුතුයි. දියණියගේ ජයග්‍රහණය ගැන මාත් බිරිඳත් නිහතමානීව ආඩම්බර වෙනවා"

 

රනුලි දියණියගේ මව වන නිලූකා රාජපක්ෂ මහත්මිය ද උපාධිධාරි ගුරුවරියකි. පාදුක්කේ පදිංචි රනුලි දරුවන් තිදෙනෙකු සිටින පවුලේ වැඩිමලාය.

views

213 Views

Comments

arrow-up