“අපි දවසක අම්මලා වෙන්න යනවා..” - එකම ශරීරයක් බෙදාගන්නා හෙන්සල් සහෝදරියන්ගෙන් ඇබී හෙන්සල් විවාහ දිවියට (PHOTOS)

ඇබී සහ බ්‍රිටනි හෙන්සල් (Abby and Brittany Hensel) කියන්නෙ නිවුන් දරුවන් දෙන්නෙක්.
හැබැයි ඒ ඔබ මම දන්න සාමාන්‍යය ආකාරයේ නිවුන් දරුවන් දෙන්නෙක් නම් නෙවෙයි.
ඔවුන් ලෝකයේම ප්‍රසිද්ධියට පත්වන්නේ ''බද්ධ නිවුන් දැරියන්'' (conjoined twin) හැටියට.
උපතේ පටන්ම දැඩි කතාබහට ලක්වුණු මේ එකම ශරීරයක් බෙදාගන්නා දැරියන් ගැන කතාබහ, කාලයත් එක්ක සාමාන්‍ය කාරණාවක් බවට පත්වෙනවා.
මොකද ඇත්තටම ඔවුන් සාමාන්‍ය දැරියන්, තරුණියන් සේ ජීවිතය ඉස්සරහට අරන් යාම තුළ අමුතුවෙන් කතා කරන්න ''ආසාමාන්‍ය කාරණා'' නොතිබුණු නිසාවෙන්.
නමුත් මෑතකදී ආයෙමත් ඔවුන් ගැන කතාබහ අළුත් වෙලා.
ඊට හේතුව ඇබී සහ බ්‍රිටනි විවාහ වීම.
34 හැවිරිදි ඔවුන්ගේ අතගත් මනාලයා 33 හැවිරිදි ජෝෂ් බෝලිං (Josh Bowling) නමැති එක්සත් ජනපද හමුදා ප්‍රවීණයෙකු බව සඳහන්.
මේ විවාහය ගැන දැන් දැන් කතා පැතිරෙන්න වනවා වුණත්, එය 2021 දී අප්‍රසිද්ධව සිදුවූවක් බවයි වාර්තා වන්නේ.
ඇබී සහ බ්‍රිටනි දෙන්නා ගැන ලෝකයේම අවදානය යොමුවෙන්න ගන්නෙ 1996 වසරේ දී ඔප්රා වින්ෆ්‍රේ සමඟ කළ වැඩසටහනක් සහ ලයිෆ් සඟරාවේ කවරයට ඔවුන් පෙනී සිටීම නිසාවෙන්.
වාර්තා වන හැටියට මේ දෙන්නා දැන් ප්‍රාථමික අංශයේ ගණිත ගුරුවරුන්. එක් වැටුපක් ලබන නමුත් ඔවුන්ට ඉගැන්වීමේ බලපත්‍ර දෙකක් ඇති බව සඳහන්.
දෙන්නා ජීවත් වන්නේ මිනසෝටා හි.
ඇබී සහ බ්‍රිටනි හඳුනාගැනෙන්නේ එක් කඳක් මත හිස් දෙකක් දෙපැත්තේ ඇති අර්ධ නිවුන් දරුවන්ගේ දුර්ලභ ආකාරයක් හැටියට.
විදෙස් වාර්තාවන්ගේ සඳහන් වන ආකාරයට ඇබී ඔවුන්ගේ දකුණු අත සහ පාදය පාලනය කරන අතර බ්‍රිටනි වම පාලනය කරනවා.
බාහිරව පෙනෙන අසාමාන්‍යතා ඔවුන්ට නම් දැඩි ලෙස බලපෑමක් නොකර ඇති සෙයකි.
මන්ද, මෙම ශරීර පිහිටීම දෙදෙනාගේ ඉදිරි ගමනට කිසිසේත්ම බාධාවක් නොකරගත් නිවුන්නු දෙන්නෙකි හෙන්සල් සහෝදරියන්.
ඊට කදිම නිදසුන, ඔවුන් උපාධිධාරීන් දක්වා සාර්ථක ගමනක් ගිය සහෝදරියන් වීම.
පියානෝව වාදනය සහ ක්‍රීඩා කිරීමේදී ඔවුන්ගේ විශ්මයජනක සම්බන්ධීකරණයන් වෛද්‍යවරුන් පවා මවිතයට පත් කළ අවස්ථා සෑහෙන්න.
ඒ වගේම වයසින් වැඩෙන විට ඔවුන් පන්දු යැවීම, වොලිබෝල් ක්‍රීඩා කිරීම, බයිසිකල් පැදීම සහ පිහිනුම් වැනි ක්‍රීඩාවලට ප්‍රිය කළ යුවළක්.
මේ දෙන්නට ඇත්තේ වෙනස් පෞරුෂයන් සහ වෙනස් වූ රුචි අරුචිකම්.
වාර්තා වන හැටියට අබිගේල් (ඇබී) දඩබ්බර, මුරණ්ඩු කෙනෙක්. ඇය කැමති පානය තැඹිලි යුෂ.
එතකොට බ්‍රිටනි පවුලේ විහිළුකාරයා. ඇයගේ තේරීම කිරි සහිත ආහාර.
"පැහැදිලි හේතු නිසා මිනිසුන් අප ගැන කුතුහලයෙන් ඉන්නවා.
ඒත් අපේ දෙමව්පියෝ කවදාවත් අපිට ඒක නිදහසට කරුණක් විදියට පාවිච්චි කරන්න දුන්නේ නෑ.
අපි හැදී වැඩුණේ අපිට කරන්න ඕන දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන විදියට....'' යනුවෙන් වරෙක ඔවුන් සඳහන් කර තිබුණා.
හෙන්සල් සහෝදරියන්ගේ උපතේදීම (1990 මාර්තු) ඔවුන් වෙන්කළ හැකි ආකාර ගැන වෛද්‍යවරු නිර්දේශ ඉදිරිපත් කර ඇති නමුත් ඔවුන්ගේ දෙමාපියන් වන පැටී සහ මයික් ඊට විරුද්ධව ඇත්තේ එමඟින් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බැවිනි.
වෛද්‍යවරු පැටී සහ මයික්ට අනතුරු අඟවා ඇත්තේ එක් රැයක් හෝ මේ දෙන්නව ජීවත් කරවීම අපහසු කාරණාවක් කියලයි.
නමුත් ඇබී සහ බ්‍රිටනි මේ වෙද්දි වෛද්‍යවරුන්ව පවා පුදුමයට පත් කරලා.....
පසුකාලීනව සම්මුඛ සාකච්ඡාවක් හා එක්වෙමින් ඇබී සහ බ්‍රිටනිගේ විවාහ වීමේ හැකියාව ගැන ඔවුන්ගේ පියා මේ විදියට අදහස් දක්වලා තිබුණා.
''ඇයි එහෙම බැරි ??
ඔවුන් හොඳ පෙනුමක් ඇති ගැහැණු ළමයින්.
ඔවුන් මායාකාරී යි.
එකට සිටීම හැර, ඔවුන් සඳහා සෑම දෙයක්ම ලැබිලා තියෙන්නෙ..''
මේ දෙන්නා ඉතිහාසගත නිවුන් යුගලයක්. ඒ සාර්ථක ලෙස දිවිගලවා ගත් බද්ධ නිවුන්නු හැටියට.
තනි ශරීරයක් බෙදා ගන්නා ඔවුන්ගේ ඉණේ සිට පහළට අන්ත්‍රය, මුත්‍රාශය සහ ප්‍රජනක අවයව ඇතුළුව ඔවුන්ගේ සියලුම අවයව බෙදා ගන්නා බව සඳහන්.
ඔවුන් අත් තුනක් සහිතව උපත ලබා ඇති නමුත් එක් අතක් ඉවත්කර තිබෙනවා.
ඔවුන්ගේ මව පවසන ආකාරයට දිනක ඔවුන් තමන්ගේම දරුවන් ලැබීමට ද උනන්දු වනු ඇත.
ඒ ගැන විස්තර කළ ඇබී එකළ ඒ ගැන කියා තිබුණේ,
''ඔව්, අපි දවසක අම්මලා වෙන්න යනවා.
නමුත් එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන අපට තවම කතා කිරීමට අවශ්‍ය නැත...'' යනුවෙන්.
මොවුන්ගේ විවාහය සම්බන්ධ විදෙස් වාර්තාවන්ට අනුව දෙදෙනාගේම විවාහය බව බැලූ බැල්මට පෙනුණත්, එක්දරු පියෙකු ලෙස කියැවෙන ජෝෂ් කියන්නේ ඇබීගේ පෙම්වතා බව සඳහන්.
කොහොම නමුත් ඔවුන් පසුගිය වසර 10ක තරම් කාලයක් නිහඬව සිටයි දැන් ආයෙම කරළියට පැමිණ ඇත්තේ.
සාමාන්‍ය නිවුන් දරුවන්ට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් මේ දෙන්නට තිබුණත්, අනෙකුත් දරුවන්ට සාපේක්ෂව ඔවුන් ඔවුන්ගේ ජීවන ගමන අභියෝග මැද වුව සාර්ථක කරගෙන ඇති බව නොරහසක්.
වාර්තා වන ආකාරයට සෑම 100,000කටම එක් නිවුන් දරු යුවළක් පමණ මෙයාකාරයෙන් උපත ලබන අතර ඔවුන්ගෙන් පළමු වසරෙන් එහාට ජීවත් වන්නේ 1%ක් පමණක් බව සඳහන්.
වඩාත් සුලභ බද්ධ නිවුන් දරුවන් වන්නේ පපුව හෝ උදරය ආශ්‍රිතව බද්ධ වූවන්.
බද්ධ නිවුන් දරුවන් වෙන් කිරීමේ ශල්‍යකර්මයේ සාර්ථකත්වය රඳා පවතින්නේ නිවුන් දරුවන් එක් වූ ස්ථානය මත බවයි සඳහන් වන්නේ.
ඇබී සහ බ්‍රිටනි වැඩිහිටිවියට පත්වන ආකාරයට බද්ධ වූ නිවුන් දරුවන් දුර්ලභ ය.
බද්ධව සිටියදීත් ඔවුන් හෘද දෝෂ හෝ අවයව අකර්මණ්‍ය වීමකින් තොරව හොඳ සෞඛ්‍යයකින් සිටීම හැබෑම වාසනාවකි.
'මගේ ළදරුවන් නිවුන්නු නමුත් ඔවුන්ට තනි කඳක් සහ හිස් දෙකක් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පැවසුවා.
මුලින්ම දැක්ක ගමන් අපි හිතුවේ ඒ අය ලස්සනයි කියලා.
මම අබිගේල්වයි ඊට පස්සේ බ්‍රිටනිවයි කිස් කරලා බදාගත්තා.
ඒ වගේ තමයි මම එයාලව ඉස්කෝලෙන් අරන් යන හැම වෙලාවෙම,
ලෝකයේ ලස්සනම ළමයින් හැටියට හාදු දෙකක් සහ එක වැළඳගැනීමක් ලබාදුන්නා..''
ඒ ඇබී සහ බ්‍රිටනිගේ මවයි...
දරුවන් කෙසේ වුවද දෙමාපියන්ට ඒ තමන්ගේ දරුවන් ම ය.
වාර්තා වන හැටියට මේ දෙදෙනා වෙන්වීම ගැන කතා කර ඇත්තේ එක් වරක් පමණි.
ළමා කාලයේ - බ්‍රිටනි නියුමෝනියාව හේතුවෙන් ඇඳට සීමා වූ පසු අබිගේල් නොසන්සුන්ව එවන් යෝජනාවක් කර තිබෙනවා.
නමුත් බ්‍රිටනි හඬන්නට පටන් ගත් විට, සියල්ල හොඳින් ඇති බවත් ඔවුන් කිසි විටෙකත් වෙන් නොවන බවත් ඇබී ඇයට සහතික වෙලා.....
29834 Views
Comments