උදාර යෝගී තුමා සහ කැළණි විහාරාධිපති හිමියන් සමඟ කළ සම්පූර්ණ කතා බහ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

උදාර යෝගී තුමා සහ කැළණි විහාරාධිපති හිමියන් සමඟ කළ සම්පූර්ණ කතා බහ

උදාර යෝගී තුමා සහ කැළණි විහාරාධිපති හිමියන් සමඟ කළ සම්පූර්ණ කතා බහ

කැළණි පුදබිමෙන් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම සම්බන්ධයෙන් කැළණි රජමහා විහාරයේ වර්තමාන විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් සහ උදාර යෝගී තුමා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව මෙසේයි.

 

කැළණි රජමහා විහාරාධිපති වගේම මේ රටේ බොහෝ දැන උගත් සංඝ පීතෘ නමක් හැටියට ඔබ වහන්සේ පිළිබඳව බෞද්ධ ජනතාව අතර විශාල ගෞරවයක් භක්තියක් තිබෙනවා. කැලණි විහාරයට නාග ලොවින් සර්වඥ ධාතූන් වැඩම කළ බව කියන සිදුවීම පදනම් කොට ගෙන එහි හානි පැමිණවීමේ උත්සාහයක් අපි දකිනවා. කුමක්ද මේ ගැන හිතෙන්නේ ?

 

මේ සිදුවීමට අවුරුදු 03 කට ආසන්න ඉතිහාසයක් තිබෙනවා. ඒ සිද්ධිය වූ වකවානුවේ දැඩි ලෙස විවේචන එල්ල වුණා. මේ රටේ තිබෙන ප්‍රකට දේශපාලන පක්ෂ දෙකක් තමයි ඒ මඩ ගැහීම් ව්‍යාපාරය ආරම්භ කළේ. ඇත්ත වශයෙන් ඕනෑම පුද්ගලයකුට මේ සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට හැකියාව තිබෙනවා. ඒ වගේම එය කළ යුතුව තිබෙනවා.

 

ඔබ වහන්සේ පවසන්නේ නාග ලොවින් සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිවෙකු උත්සාහ නොකළ බව ද ?

 

ඒක ඇත්ත දැයි සොයා බැලීමට ඔවුන් උත්සාහ කළේ නෑ. සෙකන්ඩ් sources වලින් තමයි ඔවුන් මේකට මඩ ගහන්නේ. පුද්ගලයකුට යම් සත්‍යයක් සොයනවා නම් ඔර්ජිනල් sources වලට යන්න ඕන. මුල් කාරණා කතාබහට ලක්වෙන්න අවශ්‍යයි.

 

එවැනි උත්සාහයක් කිසිවකු දරුවෙ නැද්ද ?

 

නැහැ. සියලුම දෙනා යැපෙන්නේ දෙවැනි කාරණා මතයි. මේ සිදුවීමේ පාරභෞතික ලක්ෂණ තිබෙන බව මම පිළිගන්නවා.

 

භෞතිකවාදී විශ්ලේෂණ මත පිහිටා මෙම සිදුවීම විස්තර කළ නොහැකි බවද ඔබ වහන්සේ පෙන්වා දෙන්නේ ?

 

මෙම ධාතූන් වහන්සේලා ආවේ නාගලෝකයෙන්. මණිඅක්ඛිත නා රජු තමයි දුන්නෙ. එතකොට ඒක පාරභෞතිකයි. අපේ පංචේන්ද්‍රියන්ට ගොදුරු වන්නේ නැහැ. නමුත් උදාර මහතා ප්‍රමුඛ පිරිස කැලණි ගංඟාවේ තිබී මේක ගත්තා කියන කාරණය ප්‍රත්‍යක්ෂයි. ඒක අපිට අත් දකින්න පුළුවන් කම තියෙනවා. මේ සිදුවීම බොරුවක් කරන්න අපි කාටවත් වුවමනාවක් නැහැ.

 

මෙම සිදුවීම ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ආසන්නයේ සිදුවීම විවිධ මත නිර්මාණය වීමට එක් හේතුවක් වුණා නොවේද ?

 

අභාග්‍යයකට වගේ මේ සිදුවීම ජනාධිපතිවරණය ආසන්නයේ සිදු වුණා. මේ ධාතූන් වහන්සේලා මට දෙනවා කියන එක පොරොන්දුවක් වුණේ අවුරුදු හතරකට ඉස්සර.

 

කවුද ඒ පොරොන්දුව දුන්නේ ?

 

මණිඅක්ඛිත නා රජු. මේ නාග දේවාලයේ ප්‍රතිමාව ප්‍රතිෂ්ඨාපනය කරලා මාසිකව පූජා සත්කාර කරන අවස්ථාවේ ලැබුණු පණිවුඩයක් තමයි ඒක.

 

ස්වාමීන් වහන්සේ ඒක අපැහැදිලියි. කොහොමද එහෙම පණිවිඩයක් ලැබෙන්නේ ?

 

මට නාග ලෝකයට කතා කරන්න බැහැනේ. මට එහෙම හැකියාවක් නැහැ. ඒක සිදු කෙරුණේ උදාර යෝගීතුමා මාර්ගයෙන්. නැවත නැවත කියලා ඒ අනුව තමයි මේක හමුවුණේ. එය ලැබීම මේ කියන අවස්ථාවේ සිදුවීම නිසා දේශපාලන චරිතයක් ආදේශ කරන්න හේතු වුණා.

 

සත්‍ය ලෙසම මේ ධාතූන් වහන්සේලා වැඩම වීමේ සිදුවීම පසුබිම දේශපාලන අරමුණක් නැද්ද ?

 

අවංකවම හෘද සාක්ෂියට එකඟවයි මම මේ කියන්නේ. මේ ධාතුන් වහන්සේ වැඩම වීම පිටුපස කිසිම දේශපාලන අරමුණක් නැහැ. ඒක ඉතාමත් පවිත්‍රයි. අපි දන්නවා මෙවැනි සිදුවීමක් විශ්වාස කරන අය ඉන්නවා වගේම විශ්වාස නොකරන පිරිසකුත් සමාජයේ සිටිනවා. ඇත්ත වශයෙන්ම කෙනෙකුට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මම ඕවා විශ්වාස කරන්නේ නෑ කියලා. ඒක ඒ පුද්ගලයාගේ අයිතියක්. හැබැයි ලැබිච්ච දේ බොහොම ග්‍රාම්‍ය විදියට විවේචනය කරමින් අපට මඩ ගසමින් බැතිමතුන්ගෙන් තිබෙන ශ්‍රද්ධාවට පහර ගැසීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද එක්කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මේක ධාතූන් වහන්සේ නොවේය කියලා. නමුත් මම විශ්වාස කරනවා සැබෑ ලෙසම මෙහි වැඩ සිටින්නේ සර්වඥධාතුන් වහන්සේලා කියලා. එහෙම විශ්වාස කරන්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වගේම එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්රඥප්තියෙනුත් මට ලැබිලා තියෙනවා.

 

ඔබවහන්සේ ඒ මතය පිහිටා ක්‍රියා කළා ?

 

මේක විශ්වාස කරන්නේ නැහැ කියලා ඒකට පදනම් විරහිත ව තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර අරගෙන මඩ ගැසීම, පහර ගැසීම බුද්ධිමය ක්‍රියාවලියක් නොවෙයි. සත්‍ය සොයන ක්‍රියාවලියක් නොවෙයි. ඒක ද්වේෂය පූර්වකව සිදුකරන්නක්. එක් සූත්‍රයක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පුද්ගලයකු ද්වේශයෙන් තම මනස පීඩාවට පත් කරගත්තා යින් පස්සෙ භූතේනවා යමක් සත්‍යමයි. භූතේනවා යමක් සත්‍ය උනත් ඒ පුද්ගලයා ඒක මොකද කරන්නේ, තබ්බනා ජාති. එයා සත්‍ය පිළිගන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරනවා. ද්වේෂයෙන් වැඩුණු සිතකින් තමයි ඒ කාරණය දෙස බලන්නේ. හේතුව තමන්ගේ දේශපාලන අරමුණක් මේකට සම්බන්ධ කර මේක දැකීම. ඒ නිසා එවැනි අයට මේක දකින්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ. මේ පිරිස බොහොම අතලොස්සක් බව මම කිව යුතුයි.

 

සමාවෙන්න, මෙවැනි පාර භෞතික කාරණා වලට ප්‍රමුඛත්වයක් දීම ගැන සංඝ සමාජය තුළිනුත් ඔබවහන්සේට දෝෂාරෝපණය එල්ල වුණාද ?

 

ඒක ඒ ඒ තැනැත්තන්ගේ විශ්වාසය මත සිදුවන දෙයක්. සංඝ සමාජය කියලා වෙනස් වන්නේ නැහැ. මොකද මේ තියන දේවල් සෑම දෙයක්ම පාරභෞතික වෙනවා. වර්තමානයේ තිබෙන්නා වූ ධාතූන් වහන්සේලා ගැන වුණත් එහි මූලය සොයන්නට ගියොතින් පාරභෞතික වෙනවා.

සමස්තයම එහෙමයි ?

 

ඔව්. සමස්තයම පාරභෞතික එහෙම වෙනකොට මුළු සමස්තයම විනාශ වෙලා යනවා. අද ගත්තොත් බුදු හාමුදුරුවෝ දැකපු අය කවුරුත් නැහැ නේ. ඒක පාර භෞතිකයට දාලා ගන්න පුළුවන්. කෙනෙකුට තර්ක කරනවා නම්.

 

ප්‍රත්‍යක්ෂ නොවන ආගන්තුක වස්තුවක් පහළ වීම කියන කාරණය ද මේ පහර ගැසීමට හේතුව ?

 

මේ ධාතූන් වහන්සේලා ලැබීම නොවෙයි මෙතන කාරණය. මේකට දේශපාලන මුහුණුවරක් දීමයි. නැතිනම් ධාතූන් වහන්සේලා පහළ වීම ලංකාවේ විවිධ ස්ථානවල විවිධ වකවානුවල සිදුව තිබෙනවා. අලුත් දෙයක් අමුතු දෙයක් නෙවෙයි. මෙතන තියෙන වැරැද්ද මේක දේශපාලනයට භාජන කිරීම. දේශපාලනීකරණය කිරීමෙන් මේක ඈත් වුණාම ධාතූන් වහන්සේලා මිනිස්සුන්ගේ තියෙන ශ්‍රද්ධා කාමීත්වය ප්‍රදර්ශනය කරනවා. මොනව කිව්වත් සෑම දිනකම විශාල පිරිසක් පූජාවට සම්බන්ධවෙනවා දවසකට හතර සැරයක් අපේ පූජාව පවත්වන උදේට 5 ට උදේ 7 ට දවල් 11 ට සවස 6.15 ට මේ පූජා පැවැත්වෙනවා. මිනිස්සු විශ්වාස කරනවා. ඇවිත් වන්දනා කරනවා. මේ අතලොස්සක් තමයි මේක කරන්නේ.

 

කවුද ඒ අතළොස්ස ?

 

දේශපාලන පක්ෂ දෙකක් මේක කරන්නේ. ඒ අතර බෞද්ධ නොවන කොටසකුත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි සංවිධානාත්මකව මේ පහරදීම දියත් කරන්නේ. මේක වැරදි නම් සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නේ ඒක එක සැරයක් ඊට විවේචනය ඉදිරිපත් කර නිහඬවීම. ඇයි මේ අවුරුදු තුනක් දිගින් දිගටම විවේචන කරන්නේ. මෙයින් පැහැදිලි වෙන්නේ නැද්ද මේ අයගේ අරමුණු ද්වේශය කියලා. සත්‍ය සොයන්නාට ආධාර දීමක් මෙතන නැහැ. ඒ ගොල්ලො හුදෙක් විවේචන ඉදිරිපත් කරමින් දිගින් දිගටම යනවා.

 

ඔබ වහන්සේ කියන අන්ත දෙකටම නැති මැදහත් පිරිසක් මේක මිථ්‍යාව ඔසවා තැබීමක් කියලා චෝදනා කරනවා. ඒ ගැන මොකද කියන්නේ ?

 

ඇත්ත වශයෙන්ම මිත්‍යාව කියලා කියන්නේ මොකක්ද ඒක මුලින්ම හොයා ගන්න ඕන.

 

මිත්‍යාව කියන්නේ සැබෑවට - සත්‍යයට ප්‍රතිවිරුද්ධ දෙය ?

 

මිත්‍යාවේ ලක්ෂණ සොයා ගෙන යාමක් මිත්‍යාව වැපිරීමක් ලෙස හඳුන්වන්න බැහැ. දැන් උදාහරණයක් හැටියට අපි ධාතූන් වහන්සේලා මිථ්‍යාවක් කියනවනම් අපි ඒකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? ශ්‍රද්ධාව වර්ධනය කිරීම. ඇයි ශ්‍රද්ධාව වර්ධනය කරන්නේ. ප්‍රඥාවට යන්න තිබෙන මාර්ගය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිව ප්‍රඥාවට යන්න බැහැ. එතකොට කොහොමද ඒක මිථ්‍යාවක් හැටියට හඳුන්වන්නේ. මේ ගොල්ලො කරන්නෙ ශ්‍රද්ධාව නැති කිරීම. මෙවැනි පිරිස් බෞද්ධ දර්ශනයේ හඳුන්වන්නේ විතණ්ඩවාදීන් හැටියට. විතණ්ඩවාදීන් කියන්නේ පදනමක් නැතිව තර්ක කරන අය. ඒ අයම තමයි සංශයවාදීන් හැටියට හැඳින්වූවේ. සෑම දෙයක්ම සැක කරන අය. ඒගොල්ලො බුද්ධ කාලයේ ඉඳලා එන අය. සංශයවාදීන්ට කවදාවත් සත්‍යයට ළඟා වෙන්න බැහැ.

 

ඇයි එහෙම වෙන්නේ ?

 

අසත්‍යයයි කියලා සැක කරනකොට එක එක කරුණු කියලා ඒක අනාත කරනවා. ඒකෙන් තව එකක් අල්ලගෙන ඊළඟට ඒක සැක කරනවා. ඒ නිසා සංශයවාදීන් පියවරෙන් පියවර අසත්‍යයටම යනවා. ඔහුට කවදාවත් ම සත්‍යය සොයන්න බැහැ. මේ විවේචන ගේන්නේ සංශයවාදීන්, විතණ්ඩවාදීන්. යමක් වැරදි නම් ඒක වැරදි බව කියන්න ඒ මතය දරන්න පුද්ගලයන්ට අයිතියක් තියෙනවා. ඔය ෆේස්බුක් එකේ ඉදිරිපත් කරන විවේචන බලන්න. මහා බොළඳ දේවල් කියන්නේ. ගැඹුරු තර්කයක් ඉදිරිපත් කරන්නේ නැහැ.

 

ඔබ වහන්සේගෙන් මේ සිදුවීම පිළිබඳව මාධ්‍ය ප්‍රශ්න කළාද ?

 

මේ වන තුරු කිසිම මාධ්‍යයක් මගෙන් ප්‍රශ්න කළ නැහැ. ඔය මඩ ගහන්නේ ඕලෙවල් වත් පහසු නැති උදවිය. ඒ අයට පිළිතුරු දෙන්න මම යන්නේ නැහැ. මොකද ඔවුන් ඒක කරන්නේ වෙන දේශපාලන අරමුණක් ඇතිව. ඇත්ත වශයෙන්ම මේ ධාතූන් වහන්සේ අපට ලැබුණු භාග්‍යයක්. මේ ධාතූන් වහන්සේලා බොරු උනත් වැන්දොත් එයාට ප්‍රතිඵලයක් තිබෙනවා.

 

ශ්‍රී උදාර යෝගීතුමා,

 

ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍ය වල ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරදි ප්‍රචාර යනවා. මා රෝගී බව කොරවී එක්තැන් වී සිටින බව ඔවුන් කියනවා. එය වැරදි මඩ ගැසීමක්. මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා. ඇති මට කිසිදු ආබාධයක් නැහැ. දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග විමානයේ පූජා පවත්වන්නේ මගේ මෙහෙයවීමෙන්. අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා. මට දිවැස් බලයක් තියෙනවා. ඕනෙම කෙනෙකුගේ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍යරාජයා සමග ලොකු සම්බන්ධතාවක් මට තියෙනවා. මේක සංසාරගත පුරුද්දක්. මම ඉපදුනේ ම යම්කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව.

 

මේ පූජා සිදුකරද්දී මම නිතර මණිඅක්කිත රජ්ජුරුවන් සමග සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මට පැවසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කිහිපනමක් කැළණි විහාරයට ලබාදෙන බව. මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා. ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස් කර අපේක්ෂාවෙන් හිටියා. නමුත් විවිධ බලවේග නිසා අපට නාග ලෝකයෙන් ලැබුණු දින වෙනස් වුණා. දැන් රුවන්වැලි මහා සෑය ආරක්ෂා කරන්නේ මහාකාල නා රජු. සෝමාවතී චෛත්‍ය ආරක්ෂා කරන්න ජයසේන නාරජු. සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන්නේ සුමන නා රජු. මිථ්‍යාදෘෂ්ටික නාගයන් මේක වැළැක්වූවා. මම නාග ලෝකය මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක් මම කරන්නේ ලෝක දෙක අතර පණිවිඩ හුවමාරු කිරීම.

 

සර්වඥ ධාතූන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථිර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් නව වැනි දිනට අදාලවයි. ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා. මට පීනන්න බැහැ. නමුත් මණිඅක්ඛිත නා රජු කීවා කිසි දෙයකට බය වෙන්න එපා. ආරක්ෂා කරනවා කියලා. මට උන්වහන්සේ ගැන විශ්වාසයක් තිබුණා. මම කරඬුව ගන්න ගියා අපි පූජා පවත්වා 09 වැනි දා රාත්‍රි 9:30 ට විතර ගඟ ලඟට ගියා. අප සමඟ පනහක් හැටක් විතර හිටියා මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපති තුමා. අප යන විටත් ඔහු එතැන හිටියා. එයත් අහඹු සිදුවීමක්. මගේ අතේ නාග වළලු දෙකක් ඒත් එක තොටුපළේ සිටි දෙදෙනාට පැළඳුවා.

 

මට භාවනා කිරීමෙන් කුණ්ඩලනී ශක්තිය ලැබෙනවා. මට සූක්ෂම ශක්තියෙන් සිරුර බැහැර වෙන්න පුළුවන්. මනෝකාය එළියට ගන්න පුළුවන්. නමුත් ශරීරය සිහින් හුයකින් බැඳි පවතිනවා. මම මනෝකායෙන් නාග ලෝකයට ගියා. මණිඅක්ඛිත නා රජු දාහක් නාගයන් පිරිවරාගෙන හිටියේ විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවලා හිටියේ. ඒ නයාගෙ වල්ගෙ කොටස ගඟ මැද ගලේ ඉද්දි ගයාන්ගේ කකුලේ වැදිලා කෙණ්ඩ පෙරළුණා. මෙතුමා මාව අල්ලගෙන හිටියා වතුර ඇතුලට ගියාම නාග ලෝකෙ දොරටුව හමුවුණා. දොරටුව භාරව හිටියේ රංවල දෙවියෝ. උන්වහන්සේ මට දොරටුව ඇරලා දුන්නා.

 

 

views

985 Views

Comments

arrow-up