විවහක කිරුළ පාරාවලලක් වූ සැනින් රාත්‍රියේම පොලිසියට ගිය සුරූපිණි පුෂ්පිකාට වුණු දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

විවහක කිරුළ පාරාවලලක් වූ සැනින් රාත්‍රියේම පොලිසියට ගිය සුරූපිණි පුෂ්පිකාට වුණු දේ

විවහක කිරුළ පාරාවලලක් වූ සැනින් රාත්‍රියේම  පොලිසියට ගිය සුරූපිණි පුෂ්පිකාට වුණු දේ

විවාහක රූ රැජින තරඟාවලියේ  ජයග්‍රාහී කිරුළ පැළදු අව්ස්ථාවේදි එය තමාගෙන් උඳුරා ගත් සිද්ධියට එරෙහිව පුෂ්පිකා ද සිල්වා කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

 

ඒ ඇයට හිමි කිරුළ ලෝක විවාහක රෑ රැජිනිය වන කැරොලයින් ජූරි විසින් ගලවා දැමීමට එරෙහිවයි.මින් තමාගේ කිර්ති නාමයට හානි වූ බවද පොලිසියට පවසා තිබෙනවා.

 

මෙම සම්මාන රාත්‍රිය අවසන් වීමෙන් පසු අලුයම 2.00ට පමණ කුරුදුවත්ත පොලිසියට පැමිණ ඇය මෙලෙස පැමිණිල්ල දමා ගොස් තිබෙනවා.

 

එම පැමිණිල්ලෙහි සංවිධායකවරයෙකුගේද නම සදහන් කර තිබෙනවා.

 

කිරුළු පළදනාව ගැලවීමෙන් තමාගෙ හිසට තුවාල සිදු වූ බවත් පවසා ඇය පැමිණිල්ල දමා කොළඹ පුද්ගලික රෝහලක් වෙත ගොස් ඇතැයිද වාර්තා වෙනවා.

 

පොලිසියට ආ මෙම කිරුළු හුටපටය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය විමර්ශනය ද ආරම්භ කර තිබෙනවා.

 

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැරොලයින් ජූරිගෙන් ප්‍රකාශ ගන්න නියමතයි.

 

මෙම් සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා සිල්වා සිය ෆේස්බුක් පිටුවෙහි මෙලෙස සටහනක්ද දමා තිබෙනවා.

 

එම සටහන මෙසේය

 

උපුටාගැනීම

 

ආයුබෝවන්!

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

 

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

 

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

 

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

 

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, ".. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?" යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

 

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

 

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

 

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

 

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

 

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

 

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

 

පුෂ්පිකා ද සිල්වා
- කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ

 

උපුටාගැනීම අවසන්

views

982 Views

Comments

arrow-up