වර්ණවත් මල් උමඟක් මැදින් ඇවිද යන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

වර්ණවත් මල් උමඟක් මැදින් ඇවිද යන්න.

වර්ණවත් මල් උමඟක් මැදින් ඇවිද යන්න.

තරමක් ශක්තිමත් ගසක් ලෙස වැඩෙන විස්ටේරියා චීනය, කොරියාව, ජපානය, වියට්නාමය, දකුණු කැනඩාව, සහ අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශයේ බහුල ව දැකිය හැක. මෑතකාලීන ව එය ව්‍යාප්ත වූ රටවල් අතර ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ තවත් යුරෝපා රටවල් ගණනාවක් තිබේ.


ප්‍රභේද දහයකට වැඩි සංඛ්‍යාවක් තිබෙන බව කියන විස්ටේරියා ප්‍රධාන වශයෙන් වගා කෙරෙන්නේ විසිතුරු ශාකයක් වශයෙනි. සුදු, දම්, රෝස, ළා දම් වැනි වර්ණ කිහිපයකින් යුතු මෙම මල් පහතට එල්ලා වැටෙන ආකාරයෙන් හටගනී.


ජපානයේ මධ්‍යම කිතක්‍යුෂු ප්‍රදේශය වනාන්තරවලින් බහුල කඳුකර ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ පිහිටා තිබෙන පෞද්ගලික ඉඩමක මෙම අපූරු විස්ටේරියා මල් උමඟ නිර්මාණය කර ඇත.


විස්ටේරියා වැල්වලින් වැසී ගිය, මීටර් සියයකට වැඩි දිගින් යුතු, එම උමඟ කොටස් දෙකකින් සමන්විත වේ. එහි සුදු සහ දම් පැහැති මල් හටගන්නා විස්ටේරියා වැල් බහුල අතර, මල් හටගන්නා කාලයට ඒ අවට බිම ලක්ෂ ගණනක් මල් විසිරී තිබෙනු දැකිය හැකි ය.


මුල් කාලයේ දී මෙම මල් උමඟ පිහිටි ඉඩමට පිටස්තර පුද්ගලයන්ට ඇතුළු වීමට හැකියාවක් නොවී ය. කෙසේ වෙතත් වසරකට කිහිප වරක් මලින් වැසී යන මෙම අපූරු උමඟ දැක බලාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බොහෝ සංචාරකයන් කැමැත්තක් දක්වන බැවින් මල් හටගන්නා කාලයට පමණක් එය මහජනතාවට විවෘත කිරීමට එහි හිමිකරු තීරණය කළේය.


මෙය පිහිටා ඇති ප්‍රදේශය කඳුකර ප්‍රදේශයක් බැවින් එහි උස් කඳු මුදුන්වල සිට අවට නරඹන්නන්ට, මලින් වැසී ගිය මෙම ස්ථානය ඉතා චමත්කාරජනක ලෙස දිස් වේ.


සෑම වසරක ම, විස්ටේරියා මල් හටගන්නා කාලය තුළ ලක්ෂ ගණනක් දේශීය සහ විදේශීය සංචාරකයන් ‘කිටකියුෂු’ ප්‍රදේශයට පැමිණේ. එහි පිහිටි උණ ශාකවලින් පිරි වනාන්තර සහ විස්ටේරියා මල් උමඟ සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ප්‍රධානත ම සංචාරක ගමනාන්තයන් වේ.


කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ඉතා විශාල පිරිසක් පැමිණීමත් සමඟ ඇති වන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම උමඟ නැරඹීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ඊට පෙර, දිනයක් සහ වෙලාවක් වෙන් කරගැනීම අනිවාර්ය කර තිබේ.

views

493 Views

Comments

arrow-up