චෙෆ් සංක එක්ක, "රයිස් එකේ රස රහස් - දෙවන කොටස"
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

චෙෆ් සංක එක්ක, "රයිස් එකේ රස රහස් - දෙවන කොටස"

චෙෆ් සංක එක්ක, "රයිස් එකේ රස රහස් - දෙවන කොටස"

රයිස් කියන්නේ කලාවක් කියලා අපි පළවෙනි කොටසින් කිව්වා මතක ඇති. ඒ වගේමයි අපි කිව්වා රසම රස රයිස් එකක් කියන්නේ රහස් ගොඩක් කියන එකත්. ඉතින් ඒ රස රහස් එකින් එක ඔයාලට කියලා දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ.

 

එහෙනම් අපි පටන් ගනිමු.

 

රහස් අංක 01 - හාල්

 

හාල් කියන්නේ රයිස් එකේ සාර්ථකත්වයට වැදගත්වෙන ප්‍රධානම දේ.

 

ගොඩක්ම වෙලාවට කඩවල් වල, හෝටල් වල රයිස් එකට හාල් විදිහට ගන්නේ කීරි සම්බා නැත්නම් බාස්මතී කියන හාල් වර්ග. පහුගිය කාලේ හාල් මිල ගොඩක්ම ඉහළ ගිය නිසා මිල ගණන් සසඳලා ගොඩක් අය පොන්නි සම්බා කියන හාල් වර්ගය පාවිච්චි කරන්න ගත්තා රයිස් වලට. ඒත් ඒක ඒ තරම් සාර්ථක නෑ කියන එකයි චෙෆ් සංකගේ අදහස. රයිස් එක රසවත් වෙන එක රහසක් තමයි, රයිස් එකට ගන්න බත් වලට, අපි රයිස් එක හදනකොට දාන අනෙක් අඩුම කුඩුම හොඳට අල්ල ගන්න එක. විශේෂයෙන්ම කීරි සම්බා රයිස් එකේදි මේක ගොඩක්ම වැදගත්. ඒක නිසා හැම වෙලේම ඔයාල රයිස් එකක් දාන්න ගන්න හාල් වර්ගය ගැන සැලකිලිමත් වෙන්න. දේශීය කීරි සම්බා හාලක් නම් වඩා හොඳයි. අරලිය, නිපුන, සෙව්මිණී, මේ වගේ ගොඩක් බ්‍රෑන්ඩ් වලින් තියෙනව කීරි සම්බා වර්ග වෙළෙඳපොලේ.

 

හැබැයි චෙෆ් සංකගේ තේරීම නම් දමින්ද කීරි සම්බා කියන හාල් වර්ගය. ඒක උයාගන්න ලේසියි වගේම, හොඳ කිරි රසකුත් එනව. තවත් ඔයාල දන්න මේ වගේ හොඳ හාල් වර්ග තියෙනව නම් චෙෆ් සංකටත් කියන්න. අපි අදහස් හුවමාරු කරගෙන වැඩේ කරමු.

 

අද අපි කතා කරන්නේ රයිස් එකට ගන්න කීරි සම්බා ගැන විතරයි. බාස්මතී වගේ අනෙක් හාල් වර්ග ගැන අපි වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා, වෙනම ලිපියකින්. මොකද බාස්මතී රයිස් එක කියන්නේ වෙනම ආර්ට් එකක්. ඒ වගේම ඒක එන්නේ වෙනම කොලිටි එකකින් නිසා.

 

ඒ වගේම හාල් ගැන අද අපි කතා කරපු නිසා වැඩේ මගින් නතර නොකර, හාල් ටික උයාන්න විදිහත් කියල දීලම යන්නම්. මුලින්ම කරන්න ඕනෙ හාල් ටික හොඳින් සෝදගන්න එක කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. වැදගත්ම දේ තමයි, ගොඩක්ම වෙලා හාල් ටික සෝද සෝද ඉන්න එපා. තුන් පාරකින් හරි හතර පාරකින් හරි හොඳට අතගාල සෝදගන්න. හාල් ටික පෙඟෙන්න දෙන්න එපා කොයිම වෙලාවකවත්.

 

හාල් වලට වතුර තියන විදිහ ගොඩක් ගැහැණු ළමයි දන්නව මං හිතන්නෙ. අතේ ඇඟිලි විහිදල මනින්න. ඇඟිලි පුරුක් එක හමාරයි, නැත්නම් දෙකයි. ඒක බලපානව ඔයාල ගන්න හාල් වර්ගය මත. ඒ හින්ද තමයි චෙෆ් සංක කියන්නේ පුරුද්දක් විදිහට ෆ්‍රයිඩ් රයිස් කනව නම් හැමදාටම පාවිච්චි කරන්න හොඳ හාල් වර්ගයක් තෝරා ගන්න කියලා. ඒකට ඉතින් වෙළෙඳපොලේ තියෙන හාල් වර්ග කීපයක් අත්හදා බලන්න වෙනවා ඔයාලට.

 

රයිස් කුකර් එකේ වගේම ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එකෙත් ඔයාලට බත් එක උයා ගන්න පුලුවන්. බත් එක බෙරි වෙන්න දෙන්න එපා. බත ගානට තැම්බිලා ඇට වෙන්වෙලා තියෙන පදමට එන්න ඕනේ. හාල් ටික සේදුවට පස්සේ තම්බන්න කලින් රම්පේ කොළයක්, කරාඹු නැට්ටක් සහ පිරිසිදු පොල් තෙල් ටිකකුත් එකතු කරන්න අමතක කරන්න එපා. පොල් තෙල් වලින් බතේ ඇලෙන ගතිය පාලනය කරනව වගේම, රම්පේ සහ කරාඹුනැටි වලින් ඔයාගෙ බත් එකට හොඳ ප්‍රසන්න සුවඳකුත් ගේනව.

 

ආහ්.., අමතක උනා. බත තම්බනකොට ලුණු පොඩ්ඩක් දාන එක නම් අමතක කරන්නම එපා. අපි රයිස් එක ෆ්‍රයි කරනකොට කොච්චර ලුණු දැම්මත් වැඩක් නෑ, බත තම්බා ගනිද්දි ලුණු ටිකක් දැම්මෙ නැත්නම්.

 

ඉතින් ළමයි, දැන් ගොඩක් රෑ උනා. චෙෆ් සංක එහෙනම් ගිහින් එන්නම්. හෙට හෝටලේ අරින්නත් තියෙනව උදේම. හාල් ගැන කියල දෙන්න ඇවිත් ඔන්න අද චෙෆ් සංක ඔයාලට බත උයාගන්න විදිහත් කියල දුන්න. රහස් ගොඩක්.... ඔවු, තව රහස් ගොඩක් තියෙනව. ඒ සේරම කියල දෙන්නම් ඉස්සරහට. එහෙනම් ගිහින් එන්නම්. සුබ රාත්‍රියක්... ආයුබෝ වේවා හැමෝටම....!!!!

views

719 Views

Comments

arrow-up