රසවත් වෙනසකට චිකන් ඇන්ඩ් පයින් ඇපල් සැලඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

රසවත් වෙනසකට චිකන් ඇන්ඩ් පයින් ඇපල් සැලඩ්

රසවත් වෙනසකට චිකන් ඇන්ඩ් පයින් ඇපල් සැලඩ්

බොහෝමයක් පුද්ගලයන් බාල මහලු වැඩිහිටි භේදයකින් තොරව මස් මාංශ ආහාරයට ගැනීමට ඉහළ රුචියක් දක්වයි. එලෙසින්ම රසවත් ඉදුණු පළතුරු වල රස බැලීමටද බාල මහලු වැඩිහිටි කියා බේදයක් නොමැති තරම්ය. එවැනි සියලුම දෙනා ප්‍රිය කරන මස් මාංශ රසයකට පළතුරු රසය ද මුසුකර සලාදයක් ආකාරයට ආහාර වේලට එක්කර ගැනීමට හැකියාවක් ලැබේනම් එය කොතරම් වටිනවාද කොතරම් අපූරුද. මෙම ලිපිය හරහා ඔබව දැනුවත් කිරීමට සැරසෙන්නේ චිකන් සහ අන්නාසි යොදාගනිමින් පිළියෙල කරනු ලබන රසවත් සලාදයක් පිළිබඳවයි. පලතුරක් ලෙසට ගැනෙන අන්නාසි යොදා සැකසු මෙම සලාදයෙ රසය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැති අතර ඒ වාගේම අන්නාසි නිසාවෙන් ශරීරයේ ආහාර දිරවීමට ද මේ සලාදය ඔබට මහත් රුකුලක් වේවි.

චිකන් ඇන්ඩ් පයින් ඇපල් සැලඩ් පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය,

 

  • කුඩාවට කපාගත් කුකුල් මස් ග්‍රෑම් දෙසීයක්
  • සැල්දිරි ස්වල්පයක්
  • මාළු මිරිස් කරල් කිහිපයක්
  • හොඳින් ඉදුණු අන්නාසි ගෙඩියක්
  • මිශ්‍ර සලාද කොළ ග්‍රෑම් 100ක්
  • මෙයොනෙස් සොස් අඬු කෝප්ප 1 1/2 ක්
  • ලෙමන් ඩ්‍රෙසින්
  • විප් ක්‍රීම් කෝප්ප බාගයක්
  • දෙහි ගෙඩියක කුරුට්ට සහ දෙහි යුෂ
  • ලුණු සහ ගම්මිරිස් ඔබේ රස අනුව


චිකන් ඇන්ඩ් පයින් ඇපල් සැලඩ් පිළියෙල කරගන්නා ආකාරය,

කුඩා කැබලි වලට කපා ගත් කුකුල් මස් ලුණු ගම්මිරිස් දමා හොඳින් තම්බා ගන්න. ඉන්පසුව සැල්දිරි දණ්ඩ කොටස සිහින්ව ලියා අඬු කෝප්ප භාගයක් පමණ ගන්න. මාලුමිරිස් හොඳින් සෝදා ඒවායෙහි ඇට ඉවත්කර කුඩා කොටු හැඩයට හොඳින් කපා ගන්න. ඉන් අනතුරුව හොඳින් ඉදුණු අන්නාසි ගෙඩිය සුද්දකර කොටු ආකාරයට කපා පසෙකින් තබාගන්න. දැන් ඔබ සාදාගත් සියල්ලම එකට දමා මිශ්‍ර කරගන්න. මෙයොනෙස් සොස් හෝ ලෙමන් ක්‍රීම් ඩ්‍රෙසින් දමා හොඳින් කලවම් කර මේසයට යවන්න.


ලෙමන් ක්‍රීම් ඩ්‍රෙසින් එක පිලියෙල කරගන්නා ආකාරය,


විප් ක්‍රීම් යන්තමින් බීට් කරගන්න. පසුව එම මිශ්‍රණයට මෙයොනෙස් සොස් , විප් ක්‍රීම්, දෙහි කුරුට්ට සහ දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් යනාදී සියල්ල දමා හොඳින් මිශ්‍ර කරගන්න.

සම්ප්‍රදායික සලාද නිර්මාණයෙන් බැහැරව අලුත් තාලෙට නැවුම් රසයකට මස් මාංශ රසය සහ පළතුරු රසය මිශ්‍රව නිර්මාණය කර ගත හැකි මෙම සලාදය වඩාත් ගුණදායකයි. නැවුම් රසයකට සුවඳකට පිළියෙල කර ගන්නා චිකන් ඇන්ඩ් පයින් ඇපල් සලාද ඔබගේ කෑම මේසයට එක් කරගැනීමෙන් ඔබගේ නිවසේ ආදරණීයන්ට අලුත් අත්දැකීමක් එක් කිරීමට මෙමගින් ගෘහණියන්ට හැකියාවක් උදා කෙරේ.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

745 Views

Comments

arrow-up